සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ.

“කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ.

“කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ. මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ඇතුලු සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (17) සිදුවිය.මහනුවර මහා නගර සභාව විසින් කරළිය සම්මේලනය හා රංග කලා මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 2018 වර්ෂයේ ආරම්භ කරන ලද අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් නගර සභා අරමුදල මගින් වැය කොට තිබේ.මෙම සම්මේලනය සහ රංග කලා මධ්‍යස්ථානය ඉදි කිරීම මගින් නගරයේ යටිතල පහසුකම් අතරින් අඩු පාඩුවක්ව පැවති ශ්‍රවණාගාර පහසුකම් සැලසීම හා චිත්‍ර, මූර්ති ප්‍රදර්ශන සඳහා ශාලා පහසුකම් ඇති කිරීම අපේක්ෂා කරනු ලබයි. මහනුවර විධිමත් නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරයේ ලෝක උරුම ගොඩනැගිලි ලක්ෂණ පිළිබිඹු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මහනුවර මහ නගර සභාව එක්ව ක්‍රියාත්මක කළ “පිවිතුරු දොරකඩ” ව්‍යාපාරික දායකත්ව වැඩසටහන හා නගර අලංකරණ වැඩසටහනට ලබාදුන් දායකත්වය අගයමින් සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු වු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගැන්විණි. උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස තමා සියලු සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ය. ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකු අසීරු තීරණ ගැනීමට සූදානම් නොමැති බවත්, කෙතරම් දෝෂාරෝපණයට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන තමා ආරම්භ කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බවද මෙහිදි එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කර සිටිය්, ඓතිහාසික මහනුවර නගර මධ්‍යයේ ඉදිකල මේ රංගශාලා ගොඩනැගිල්ල ජනගත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බවත්, අනාගත කලා පරපුර වෙනුවෙන් මෙවැනි වටිනා සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපති කේසර සේනානායක මැතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට ස්තුතිවන්ත වන බවත්, ඩී.එස්.සේනානායක පුස්තකාලය ගිනිබත් වීමෙන් පසුව මේ රංග ශාලාව ඉදිකරනු ලැබු බවත්ය. දරුවන්ට ඒ වගේම අනාගතය බාරගන්න සියලු දෙනාට ඉතා වැදගත් වන නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම රංග ශාලාව නිසා මහනුවර නගරයේ වැදගත්කම තවත් වැඩි වීම සිදු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර මහා නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook