
කරල්ලියද්ද ශ්‍රී උපෝසථාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීම
කරල්ලියද්ද ශ්‍රී උපෝසථාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ සර්වඥ ධාතු මන්දිරය සම්බුද්ධ ශාසනයට පූජා කොට සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම් සඳහා විවෘත කිරීම අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පසුගියදා (01) පෙරවරුවේ විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව කැටකුඹුරේ ධම්මාරාම ස්වාමීන්වහන්සේ හා මහාචාර්ය අජිත් තල්වත්ත මහතා විසින් සංස්කරණය කරන ලද ‘දුම්බරාභිනන්දන සාර සංග්‍රහය’ හා ‘පූර්ව විවාහ උපදේශනය’ යන පර්යේෂණාත්මක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ද්විත්වය එළි දැක්වී ය.
පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ පරිවේනාධිපති මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ හා මහාචාර්ය අජිත් තල්වත්ත මහතා මේ ග්‍රන්ථ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ද එක්ව සිටියහ. එමෙන්ම මහනුවර ශ්‍රී දළඳා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරු ද, ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද , ප්‍රදේශවාසී ජනතාව ද සහභාගී වී සිටියහ.