සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ජනතාවගේ පානීය ජල සුරක්ෂිතතාවය තිරසාරව පවත්වා ගැනීම උදෙසා පළාත් පාලන ආයතන සඳහා සම්මත අතුරු ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් වැඩමුළුවක් .

මධ්‍යම පළාත් ජනතාවගේ  පානීය ජල සුරක්ෂිතතාවය තිරසාරව පවත්වා ගැනීම උදෙසා පළාත් පාලන ආයතන සඳහා සම්මත අතුරු ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුවක් අද දින (28) මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන , පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ දී පැවැත්විණ.

මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම දෙදින (28,29) පුහුණු වැඩමුළු වේ සම්පත් දායකත්වය බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන නීති නිලධාරී,  පාලිත අලහකෝන් මහතා විසින් ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේදී කෙටුම්පත් කිරීමට යෝජිත අතුරු ව්‍යවස්ථාව සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම, පවතින නීතිමය පසුබිම විමසා බැලීම, විවිධ ආයතනයන් මේ සම්බන්ධව දරන මතයන් හා  ඒ ඒ ආයතන මට්ටමින් පවතින නීතිමය රාමුව පිළිබඳව සාකච්ඡා කිරීම,  අතුරු ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු කරුණු ගොනුකිරීම, අතුරු ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම හා කෙටුම්පත් කරන ලද අතුරු ව්‍යවස්ථාව සමාලෝචනයට ලක් කර  අතුරු ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පත සකස් කිරීම යන අංශයන් ඇතුලත් වේ.

සකස් කරනු ලබන  අවසන් කෙටුම්පත සියලු පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කොට එකඟතාවය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර,මෙම ව්‍යාපෘතිය සඳහා යුනිසෙෆ් ආයතනය මගින් මූල්‍යමය හා තාක්ෂණික අනුග්‍රහකත්වය ලබාදීම සිදු කෙරේ.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලමින් ජනහිතකාමී සේවා සැපයුමක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක, නුවරඑළිය මහ නගර සභාවේ සභාපති   චන්දන ලාල් කරුණාරත්න, දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුන් සහ නාඋල ,අඹගමුව , පූජාපිටිය, කොටගල යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා , මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී. කේ. ගුණතිලක මහතා ඇතුළු පලාත්  පාලන සහකාර කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, නීති නිලධාරීන්, යුනිසෙෆ් ආයතනයේ මධ්‍යම හා ඌව පළාත් භාර වැඩසටහන් නිලධාරි සුදත් අධිකාරම් මහතා,  ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සැපයුම් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග,කෘෂිකර්ම, සෞඛ්‍ය, ගොවිජන සේවා, ඉඩම් පරිහරණ යන දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්  සහභාගී වූහ.

උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මීමුරේ, කයිකාවල හා පුස්සෙඇල යන ග්‍රාම නිලධාරි වසම් වල වෙසෙන ජනතාව මුහුණ දී සිටින ඉඩම් හිමිකම් පිළිබද ගැටලු නිරාකරණයට සාකච්ඡාවක්.

උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මීමුරේ, කයිකාවල හා පුස්සෙඇල යන ග්‍රාම නිලධාරි වසම් වල වෙසෙන ජනතාව මුහුණ දී සිටින ඉඩම් හිමිකම් පිළිබද ගැටලු නිරාකරණයට මෙතෙක් ගත් පියවර හා ගැනීමට නියමිත පියවර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් එකඟතාවකට පැමිණීමේ අරමුණෙන් යුතු සාකච්ඡාවක් අද දින (28) පළාත් ආණ්ඩුකාර කාර් යාලයීය ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු.ගමගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.                            

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.පී.බී.මඩුගල්ලේ හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කිත්සිරි විජේකෝන් යන මහත්වරුද සහභාගී වූ මේ සාකච්ඡාවට ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා මඩහපොල , ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (විමර්ශන ) එස්.බී.මියනදෙණිය,  පළාත් ඉඩම් කොමසාරිස් ජගත් අධිකාරි උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් නිලූෂා මනෝරත්න යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ. රේඩා ආයතනයේ සභාපති  නීතිඥ ජානක සකලසූරිය මහතා මීමුරේ පාදක වූ සංචාරක පහසුකම් පිළිබද ව කරුණු ඉදිරිපත් කලේය.           

 

ප්‍රාදේශීය ලේකම් මනෝරත්න මහත්මිය උක්ත ඉඩම් ගැටලුව ට අදාළ වර්තමාන තත්ත්වය දීර්ඝව පැහැදිලි කළාය.       

 

 ආණ්ඩුකාර ගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මේ ගැටලුව හා බැඳුනු  සියලු ආයතන හා පාර්ශ්ව අතර එකඟතාවක් ඇති කරගෙන මීමුරේ කයිකාවල හා පුස්සෙඇල ජනතාව සමඟ සාකච්ඡා කොට නිශ්චිත තීරණයකට පැමිණීම වඩා ඵලදායි වන බවයි.          

 

 ඒ අනුව අදාළ ඉඩම් සඳහා වූ මැනුම් කටයුතු නොපමාව අවසන් කිරීමටත් , පළාත් ඉඩම් කොමසාරිස් මඟින් වාර්ෂික ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම   වේගවත් කිරීමටත් කටයුතු කළ යුතු බව කියැවිණි.   නොවැම්බර් 15දා පෙරවරුවේ මීමුරේ ප්‍රජා ශාලාවේදී අදාළ සියලු නිලධාරීන් සමඟ ජනතාව හමුවී අවසන් එකඟතාවකට පැමිණීමටද තීරණය විය.

ගම්පොල චකින්දාරාම විහාර උදු‍වප් මහා පෙරහැර සංවිධානය කිරීම පිළිබද සාකච්ඡාවක්.

ගම්පොල චකින්දාරාම විහාරස්ථානයේ මෙහෙයවීමෙන් එළැඹෙන උදු‍වප් මස 10 දා ගම්පොල නගරයේ වීථි සංචාරය කිරීමට නියමිත ගම්පොල උදු‍වප් මහා පෙරහැර සංවිධානය කිරීම පිළිබද සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ හතරබාගේ සමිත ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාරයාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (27 ) පැවැත්විණි .              

 

මෙම පෙරහැර පළමු වරට සංවිධානය කෙරෙන්නේ ගම්පොල පුරවරයේ අතීත ශ්‍රී විභූතියේ මතකය ආවර්ජනය කරමින් මෙවර ශ්‍රී පාද වන්දනා සමයට සමගාමීව ය.               

 

ව්‍යාපාරික ප්‍රජාවගේ හා මහජනතාවගේ සහය ඇතිව ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් පෙරහැර සංවිධානය කරති.        

 

ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ දේශයේ බෞද්ධ අනන්‍යතාව පිළිබිඹු කරන මෙබදු කාර්‍යයන් සඳහා උපරිම සහය ලබා දීමට මධ්‍යම පළාත් සභාව සූදානම් බවය.                    

 

සාකච්ඡාව සඳහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්  අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුද , ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා මූලස්ථාන පොලිස් පරීක්ෂක මහත්වරුද , පෙරහැර සංවිධානයට එක්වන පිරිස්ද එක්ව සිටියහ .

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට අධ්‍යාත්මික සංවර්ධනනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් ...

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට අධ්‍යාත්මික සංවර්ධනනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් ...

 

                     

මධ්‍යම පළාත් සභාවේ, දෙපාර්තමේන්තු හා ආයතනයන්හි සේවයේ නියුතු සියලුම ස්ථරවල නිලධාරීන් සදහා ''අධ්‍යාත්මික සංවර්ධනය හා මානසික සතුට (Situation, spirituality and Happiness) " පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පසුගියදා  (26) පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.  මහනුවර දිස්ත්‍රික් නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය.  මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය  කෙරුණු මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මිය, මධ්‍යම පළාතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.

රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ තනතුරු සදහා අභිනවයෙන් පත් කෙරුණු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් හා නිලධාරිනියන් 14 දෙනෙකුට නව සේවා ස්ථාන වෙත පත් කිරීමේ ලිපි ප්‍රදානය කෙරේ.

රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ තනතුරු සදහා අභිනවයෙන් පත් කෙරුණු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් හා නිලධාරිනියන් 14 දෙනෙකුට නව සේවා ස්ථාන වෙත පත් කිරීමේ ලිපි ප්‍රදානය ඊයේ(27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් පළාත් ආණ්ඩුකාර කාර් යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබීය.              

මෙහිදී නව තනතුරු ලාභීන් අමතා ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ නිවැරදි ව හා කාර් යක්ෂමව මහජන සේවයේ නිරත වෙමින්‍ රාජ්‍ය සේවයට අභිමානයක් එක් කරන ලෙසය. සේවයේ නිරතව සිටියදීත්, විශ්‍රාම ගැනීමෙන් පසුවත් මෙවැනි නිලධාරීනට ඉහළ පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බවත් ඔහු කියා සිටියේය.           

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා සදහන් කළේ සතතාභ්‍යාසයෙන්ම රාජ්‍ය සේවයේ පරිණත වූ මෙම නිලධාරීනට විශාල වගකීමක් පැවරෙන බවය.      

පත්වීම් ප්‍රදානයට අදාළ සියලු කටයුතු සිදු කරනු ලැබුවේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි.              

ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතාද, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පී.ජී.අමරකෝන් මහතා ඇතුළු එහි සාමාජිකයන්ද, එහි ලේකම් ඩබ්ලිව්.දයානන්ද මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook