සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා ප්‍රවේශ මාර්ගයක්.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා ප්‍රවේශ මාර්ගයක්. රුපියල් ලක්ෂ 45 වියදමක් දරා ඉදිකරන ලද හගුරන්කෙත දියති ලක විද්‍යාලිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගේ පන්ති කාමර සදහා වන, ප්‍රවේශ මාර්ගය සිසු අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් සිදු කෙරෙනි.මෙම විදුහලේ 08 වසරේ ඉගෙනුම ලබන සචිනි සංදිපා දියණිය මුහුණ දෙන දුෂ්කරතා හඳුනාගෙන මෙම දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය ට යොමු කිරීමෙන් අනතුරු ව වහා ඒ පිලිබදව සොයා බලන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලබාදුන් උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ප්‍රතිපාදන වෙන් කර දෙනු ලැබිය.දරුවන් 1800 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන මෙම විදුහලේ දරුවන් අතර සචිනි දියණිය ,අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සදහා සක්‍රිය ව දායක වන අතර චෙස් ක්‍රීඩාවෙන් ජයග්‍රහණයන් රාශියක් ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්පත් කර දීමට සමත් වූ දක්ෂ දරුවෙකි. මෙම අවස්ථාව ඇමතු පළාත් ආණ්ඩුකාරවරයා , සමාජයේ සැම දරුවෙකුටම කිසිදු අපහසුවකින් තොරව තම අධ්‍යයන කටයුතු ඇතුළු සියලු කාර් යයන් ඉටු කර ගැනීම සදහා අවශ්‍ය ප්‍රවේශයන් සකසා දීම වැඩිහිටියන් ගේ සහ වගකිවයුතු අයගේ වගකීමත් බවත් , එදා බුදුන් වහන්සේ ලොවට පතල කල කෘතගුණ සැලකීම යන උත්තම පරමාදර් ශය නුතනයේ දීත් ලාංකේය බොදුණු සමාජය තුල මහින්දාගමනයේ සිටම පැල පදියම් විම හා ඒ උතුම් ගුණාංග පවත්වා ගෙන ඒම අගය කල යුතු බවත් අවධාරණය කළේය .විදුහල්පති නිශාන්ත දිසානායක මහතා ඇතුළු ගුරු‍භවතුන් ආරාධනයෙන් පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් , හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන් සහ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නාමල් දිසානායක මහතා ප්‍රමුඛ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යාපන නිලධාරින් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

දළදා සමිදු පුදන “ පරිසරය පූජනීයයි ” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්.

දළදා සමිදු පුදන “ පරිසරය පූජනීයයි ” පාරිසරික සත්කාර ශ්‍රමදාන වැඩසටහන මෙවරත්. ඓතිහාසික සෙංකඩගල දළදා පෙරහැරට සමගාමීව මධ්‍යම පළාත් කෘෂිකර්ම සහ පරිසර අමාත්‍යාංශය , මධ්‍යම පළාත් සභාව ප්‍රධාන ව සියලු රාජ්‍ය ආයතනයන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් වාර්ෂිකව පැවැත්වෙනු ලබන පරිසරය පූජනීයයි ශ්‍රමදානය වැඩසටහන 2024 අගෝස්තු 8 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වහල්කඩ පරිශ්‍රයේදී ආරම්භ කෙරෙනි. දළදා පෙරහරට පිදෙන පාරිසරික සත්කාරික උපහාරයක් ලෙස දළදා පෙරහැරට පුර්වයෙන් මහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශය පවිත්‍ර කිරීමේ කාර්යය මෙම ශ්‍රමදානයක් මගින් කෙරෙන අතර, මෙවරද ස්ථාන දාසයකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් ආයතන රැසකගේ දායකත්වයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය. මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, කෘෂිකර්ම අමාත්‍යංශය ලේකම් චන්දන වික්‍රමසූරිය , විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත , දළදා මාලිගාවේ කිර් ති දිසානායක යන මහත්වරුන් ඇතුළුව පලා ත් අමාත්‍යාංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් ,ශ්‍රී ලංකා පොලිසිය , මහනුවර මහ නගර සභාව ,බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් පිරිසක් සහභාගී විය.

අද ඔබේ දරුවා සුරක්ෂිතද ?

අද ඔබේ දරුවා සුරක්ෂිතද ? වර්තමානයේ අපගේ දරුවන් නිරන්තරයෙන්ම විවිධ දුරාචාරයන් සඳහා බිලි ගැනීමට සූදානම්ව සිටින පරිසරයක එම තත්වයන් හඳුනාගැනීමටත් ඒවායින් වැලකි සිටීමටත් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරෙනෙ “හැරවුම” මත්ද්‍රව්‍ය නිවාරණ හා යොවුන් වියේ දරුවන් සඳහා අභිප්‍රේරණ වැඩසටහන් මාලාවේ තවත් එක් සුවිශේෂී අදියරක් 06 දින මහනුවර ධර්මරාජ විද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක එම වැඩසටහන, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සහකාරඅධ්‍යක්ෂ, මනෝවිද්‍යා උපදේශක, කථිකාචාර්ය, ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි. මෙදින වැඩසටහන සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිවල සිසු දරු දැරියන් නවසීයකට අධික පිරිසක් සහභාගී වූ අතර එම විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලයේ පිරිසක් සහ මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගිව සිටියහ. විවිධ මත්ද්‍රව්‍ය දර්ශණ සහිත කාටුන් වැඩසටහන්, දෙමවුපියන් සහ වැඩිහිටියන්ගේ උපදෙස් ගරු නොකර තම අභිමතය පරිදි පමණක් කටයුතු කරමින් සමාජයේ එකම වීරයා දරුවා බවට හුවාදක්වන කාටුන් වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම සහිතව පාසල් සිසුන්ට නොගැලපෙන දර්ශන සහිත ටෙලි නාට්‍ය දිගින් දිගටම දරුවන්ට නැරඹීමට සැලැස්වීමෙන් ලාංකීය සමාජයේ අද දරුවා මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ දුරාචාරයන්ට පහසුවෙන් හසුකරගත හැකි හරසුන් පිරිසක් බවට පත්කර ඇත. මෙම තත්වය වැලැක්වීම වෙනුවෙන් ක්‍රියාකිරීම වැඩිහිටි අප සැමගේ යුතුකමක් සහ වගකීමක් බවත් දරුවන් ලෙස එම තත්වයන් නිවැරදිව අවබෝධ කරගෙන ඉලක්කයක් සහිතව, ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන දෙමවුපියන්ගේ බලාපොරොත්තු ඉටු කල හැකි පරපුරක් බවට පත්විය යුතු බවත් සම්පත් දායක ඉසුරු සමරකෝන් මහතා එතුමන්ගේ දේශනයෙහි විශේෂයෙන් සඳහන් කළේය. මධ්‍යම පළාතේ සියලුම පාසැල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එම වැඩසටහන දුෂ්කර ප්‍රදේශයන්හි පාසල් ද ඇතුළුව සිංහල සහ දමිල මාධ්‍ය පාසැල් 30කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරගන්මින් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක් මහනුවර ඇසළ පෙරහැර සමයේ දන්සැල් ලබාදීමේදී අනිවාර්යෙන්ම මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා සඳහන් ක‍ළේය. මහනුවර ඇසළ පෙරහැර සමය තුළ මහනුවර නගරයේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් සියයට සියයක සූදානමක් පවතින බවත් ඒ සඳහා විශේෂ සෞඛ්‍ය මෙහෙයුම් මැදිරියක් ද මහනුවර මහ නගර සභාව මගින් ස්ථාපිත කර තිබෙන බවත් ‍ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසිය. වැඩිදුර අදහස් දක්වමින් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා,මහනුවර නගරයේ, ආහාර සකස් කරන ස්ථාන සියල්ල පරික්ෂා කිරීම අගෝස්තු මස මුල සිට ආරම්භ කළ බවත්, ඇසළ පෙරහැර අරම්භ කිරීමට ප්‍රථමයෙන් මහනුවර නගරයේ හා විශේෂයෙන්ම පෙරහැර ගමන් කරන මාර්ගය ආශිතව තිබෙන ආහාර අලෙවි සැල් සියල්ලක්ම පරික්ෂාවට භාජනය කිරීමට බලාපොරොත්තුවන බවත් කීවේය. එහිදී ජනතාවට නුසුදුසු අහිතකර ආහාර ද්‍රව්‍ය හඳුනා ගතහොත් ඒවා අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදුකරන බවත් අවශ්‍යනම් නඩු පැවරීමට ද කටයුතු කරන බවද පැවසීය.මහනුවර ඇසළ පෙරහැර නැරභිමට පැමිණෙන ජනතාවට හා පෙරහැරේ ශිල්පින්ට දන්සැල් ලබාදීමේදී ද අනිවාර්යෙන්ම මහනුවර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ද ප්‍රධාන නාගරික වෛද්‍යවරයා පැවසිය. මේ වන විටත් නගර සභාවේ දන්සැල් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත් දැනට පනහකට අධික දන්සැල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන බවත් ඉදිරියේදී එය වැඩිවිය හැකි බවත්, සියලුම දන්සැල් සදහා ලියාපදිංචි සහතියකයක් සෞඛ්‍ය අංශයෙන් ලබා දෙන බවත් ජයසිංහ පැවසිය. ඇසළ පෙරහැර සඳහා දායක වන ශිල්පීන් සඳහා වේල් තුනක් ලෙස ලබා දෙන ආහාර සාම්පල් පරික්ෂා කිරීමට ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.මහනුවර ඇසළ පෙරහැර ගමන් ගන්නා සැම විදියකම ජනතාවට පිරිසිදු පානිය ජලය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කිසිදු බියකින් තොරව එම ජලය පානය කළ හැකි බවත් එවා පිරිසිදු පානීය ජලය ‍බවද ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරය අනාවරණය කළේය.නගරය තුළ බහුල වශයෙන් ජනතාව ඒකරාශී වන ස්ථාන වල පිරිසිදු ජල ටැංකි ස්ථාපිත කර ඇති බවත් සියලුම ජලය සෞඛ්‍ය අංශ මගින් දිනකට වතාවක් පරික්ෂාවට භාජනය කිරීම සිදු කරනවා. පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී විදි වෙළෙන්ඳුන් සහ අනෙකුත් ආහාර අලෙවි කරන හා පරිහරණය කරන ස්ථාන ද අහඹු ලෙස පරික්ෂාවට භාජනය ලක් කිරීමත්, පෙරහැර මංගල්ලය නිමාවන දිනයේ මහනුවර නගරය පිරිසිදු කර යතා පරිදි පවත්වාගෙන යාමට සියලු අපද්‍රවය ඉවත් කිරීමේ මෙහෙයුමක් නගර සභාව මගින් ක්‍රීයාත්මක කිරීම සිදු කරනවා.මහනුවර ඇසළ පෙරහැර රන්දෝලි හා අවසාන රන්දෝලි දවසේ මුළු නගරයන්ම මදුරු මර්දන සදහා දුමායනය කිරීම සංවිධානයක් කර තිබෙනවා, පෙරහැර ගමන් ගන්න සැම ස්ථානයක්ම මේ වනවිට සති පතා සති හතරක් මදුරුවන් බෝවන් ස්ථාන කීටයන් සිටිද යන්න පරික්ෂා කිරීමට භාජනය කරනවා.විශේෂ අවදානම් තත්ත්වයක්, ආහාර විෂවීමක් වැනි දෙයක් ඇති වුවහොත් ඒ සඳහා ස්ථාපිත විශේෂ සෞඛ්‍ය මෙහෙයුම් මැදිරිය සඳහා අවශ්‍ය ප්‍රථමාධාර, සායන කටයුතු නගර සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා මහනුවර මහ රෝහල සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සිදුවෙනවා.මහනුවර ඇසළ පෙරහැර රාජකාරි සදහා විශාල කාර්ය මණ්ඩලයක් පිට පළාත් වල සිට පැමිණෙන නිසා ඔවුන් පොදු වශයෙන් නවාතැන් ගන්නා ස්ථාන සදහා ද විශේෂ මදුරු මර්දනන සදහා දුමායනය කිරීමද සිදු වෙනවා.මහනුවර නගරයේ සුදුසු ස්ථාන වලින් පමණක් ආහාර ලබා ගන්න ලෙසත් තමන් රැගෙන එන පොලිතින් හා නොදිරන ද්‍රවය නගරයේ නොදමා නැවත රැගෙන යන ලෙසත් මදුරු දෂ්ඨනය සදහා පැගිරිතෙල් වැනි සුදුසු මදුරු විකර්ෂක අලේපනයක් රැගෙන එන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා පැවසීය.

'ලෝකයට පැළයක්’ වැඩසටහන මහනුවර දී.

'ලෝකයට පැළයක්’ වැඩසටහන මහනුවර දී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ සංකල්පයක් මත ක්‍රියත්මක කරනු ලබන ‘ලෝකයට පැළයක්’ වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් මහනුවර වැව රවුමේ මහ මායා බාලිකා විද්‍යාලය අසළදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින පැවැත්විණි.මහනුවර, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීම සනිටුහන් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් කරඳ පැළයක් රෝපණය කිරීම සිදු කරන ලදි.මහනුවර මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මගෙන් ගසක් මහනුවරට’ වැඩසටහන මගින් මේ සදහා දායකත්වය ලබා දෙන ලදි.මෙම අවස්ථාව සදහා මහනුවර, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහකාර මහකොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතිරා එස්. මහත්මිය, මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන කර්මාන්ත ඉංජිනේරු ජේ.එම්.ඩී.එස්.ඩි. ජයසේකර, ජලාශ්‍රිත ප්‍රදේශ භාර නිලධාරි හේමන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook