සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව.

මධ්‍යම පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පල්ලෙකැලේ දී පැවත් වින. පළාතේ සියලු රාජ්‍ය ආයතන වල එකතුවෙන් සැදුම්ලත් මෙම කමිටුවේදී පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සදහා තීරණ රැසක් ගනු ලැබූ අතර පාසල් ,සමාජ ප්‍රජාව , රාජ්‍ය ආයතන ඇතුළු විවිධ සමාජ කණ්ඩායම් සදහා භාවිතය වැලැක්වීම සදහා දැනුවත් කිරීම් හා නිවාරන කටයුතු , උපදේශනය ට යොමු කිරීම , නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීම ඇතුළු අංශ රැසකින් දායකත්වය ලබාදෙමින් සමාජ ප්‍රගමනයට ජනතාව යොමුකිරීමට වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් පළාත තුළ ක්‍රියාවට නැගීමට සැලසුම් කරන ලදී. මධ්‍යම පළාත තුල මත්ද්‍රව්‍ය නිවාරන කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමටද යෝජනා වූ අතර 2024 වර්ෂයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විධිමත් සැලැස්මකට අනුව පාසල් පද්ධතිය තුළ මෙම ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කෙරින. මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් ,සෞබ්‍යය අංශයන් ,ආරක්ෂක අංශයන් නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී විය.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කාර්යාල ක්‍රම පිළිබද පුහුණු වැඩසටහන.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද කාර්යාල ක්‍රම පිළිබද පුහුණු වැඩසටහනක් පසුගියදා (10) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී පැවත්විණ. පළාත් රාජ්‍ය සේවයේ නිරත මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සදහා සංවිධානය කොට පැවති මෙම වැඩසටහන සදහා නිලධාරින් 100 දෙනෙකු සහභාගී වූ අතර මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය සෞබ්‍යය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරි ඊ.එම්.එම්.සි.බී.ඒකනායක මහතා විසින් ලබාදෙන ලදී. මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.

දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කෙරේ. වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන 2023 සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුයේ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගණකාධිකාරීන් සහ පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් යොදවා ඇති විෂය නිලධාරීන් (සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් ) 150 දෙනෙකු සදහා මෙම වැඩසටහන පිළිබදව විදිමත් පුහුණුවක් ලබාදීමේ දෙදින පුහුණු වැඩසටහන සදහා එක් වෙමිනි. මෙම වැඩසටහන පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ 9,10 දෙදින පරිගණකගාරයේදී පැවැත්විණ. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාහට කඩිනමින් තම සේවාවන් ඉටුකර ගැනීමට හැකියාව උදා කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා INNOVA මෘදුකාංග නිර්මාණ ආයතනය මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

පුරන් අප්පු විරුවාගේ පිළිරුව නිරාවරණය කරමින් 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී සටනේ 175 වන වසර සැමරේ .

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදවා ගැනීම පිණිස සටන් වැදුණු සියලු දෙනාට ම අපගේ ගෞරවය නො මඳව හිමි විය යුතු බවත්, හිරු නො බසින අධිරාජ්‍ය යනුවෙන් හැඳින්වූ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය හිරු බැස යාමේ අධිරාජ්‍යයක් බවට පත් කරලීම සඳහා සුවිශේෂ ප්‍රයත්නයක නිරත වූ පුරන් අප්පු හා ඔහු විසින් නායකත්වය ලබා දුන් සුප්‍රකට 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී සටන මේ මොහොතේ දී සාඩම්බරයෙන් සිහිපත් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවස යි. වර්ෂ 1815 උඩරට ගිවිසුම ප්‍රකාර ව බ්‍රිතාන්‍ය පාලකයන් ක්‍රියා නො කළ බව ද, ඔවුනගේ පිළිවෙත් හේතුවෙන් සිදුවූ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අර්බුද අතිමහත් බව ද, වත්මන් ළමා පරපුර මේ කාරණා සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බව ද අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා තවදුරටත් කියා සිටියේ ය. බ්‍රිතාන්‍යයන්ට පෙරාතුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ ලන්දේසින් යටතේ සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් මෑතදී නෙදර්ලන්ත නායකත්වය සමාව අයැද සිටි වග අවධාරණය කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා බ්‍රිතාන්‍ය නීති යටතේ කන්ද උඩරට ජනතාවට අහිමි කළ ඉඩම් යළි ඔවුන් වෙත ලබා දීමේ අවශ්‍යතාව ද සඳහන් කළේ ය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු යම් ඵලදායී කාර්යයක්ට භාවිත නො කරන ඉඩම් කන්ද උඩරට කෘෂිකාර්මික සශ්‍රීකත්වය වෙනුවෙන් ලබා දීමේ වැදගත්කමත් අනතුරුව ඔහු පෙන්වා දුන්නේ ය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ ඉකුත් දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේ දී පැවැති 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී ජනතා සටනට වසර 175ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. වැඩසටහනට පෙරාතුව මාතලේ වී.ටී .නානායක්කාර උද්‍යානයේ අභිනවයෙන් ඉදි කළ පුරන් අප්පු විරුවාගේ ප්‍රතිමාව නිරාවරණය කිරීම ද ඔහු අතින් සිදු කෙරිණි. වැඩසටහනට සමගාමීව 1848 මාතලේ අධිරාජ්‍ය විරෝධී සටන විෂය කර ගත් විමර්ශන ග්‍රන්ථයක් එළි දැක්වීමට ද සංවිධායකයෝ පියවර ගත්හ. විචිත්‍රාංග කිහිපයකින්ම වැඩසටහන සමන්විත විය. විශේෂ ආරාධිතයකු වශයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සහභාගී වී සිටියේ ය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ , යදාමිනි ගුණවර්ධන යන මහත්වරු ද, තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු මාතලේ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, ප්‍රදේශවාසීහු ද වැඩසටහනට සහභාගී වූහ. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ මහා නගර සභාව හා වීර කැප්පෙටිපොල ජාතික පදනම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

සහෘදයාත්‍රා- 2023

සහෘදයාත්‍රා- 2023 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන සහෘද යාත්‍රා -2023 වැඩසටහනේ මහනුවර අධ්‍යාපන කලාපයේ වැඩසටහන පසුගිය දා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් හා අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කිත්සිරි ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පන්ති කාමර අධ්‍යාපනයෙන් පරිබාහිරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය මූලික කරගනිමින් පුද්ගල සංවර්ධනය හා රටේ සංවර්ධනය ඇති කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි. මහනුවර නගරබද පාසල් හා මහනුවර ප්‍රදේශයෙන් දුෂ්කර පාසල් අතර සහෘදත්වය වර්ධනය කිරීම මූලික කරගනිමින් සංවිධානය කළ මෙම වැඩසටහන සිසු දරුවන්ගේ ගායන,නර්තන හා කථික දක්ෂතා වලින් සමන්විත විය. මෙම අවස්ථාවට එක්වූ ලියනගමගේ මහතා දරුවන් අතර ජාති ආගම් භේද දුරලා සාමය, සහජීවනය ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දේශනයක් ද පැවැත්වීය. මෙම සිසුන්ට මහනුවර නගරයේ ආගමික වැදගත්කමක් ඇති සිද්ධස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමට ද අවස්ථාව උදාවේ එසේම පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී විනෝදාත්මක හා ඉංග්‍රීසි භාෂා පුහුණුව පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනකට ද සහභාගි වීමට අවස්ථාව සැලසේ. මෙම වැඩ සටහනට සහභාගි වූ ප්‍රාථමික ශ්‍රේණි සිසුන් අතර සුහදත්වය ගොඩනැගීමක් වශයෙන් නගරයේ පාසල් වල සිසුන් ත්‍යාග පිරිනැමීමක් ද සිදු කෙරිණි. මෙම වැඩසටහනේ සත්කාරක දායකත්වය ශාන්ත සිල්වෙස්තර විදුහලත්, අනුග්‍රාහක දායකත්වය මහනුවර ධර්මරාජ විදුහලත් දරනු ලබයි.මෙම අවස්ථාවට මහනුවර අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය, මහනුවර කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් හා ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook