සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකරදුන් තරුෂිට උපහාර.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකරදුන් තරුෂිට උපහාර. 20 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දරුවන් හා ඔවුන්ගේ ක්‍රීඩා පුහුණුකරුහට උපහාර පිදීම හා ඇගයීමට ලක් කිරීමේ උළෙලක් පසුගියදා (11) වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මෙහිදී තරගාවලියේ වැඩිම පදක්කම් දිනූ ක්‍රිඩිකාව බවට පත්වූ තරුෂි දිල්හාරා කරුණාරත්න ක්‍රීඩිකාව (රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක්) සහ රන් පදක්කමක් දිනාගත් හසන්ත ශෙහාන් දිල්රංග ක්‍රීඩකයා ඇගයීමට ලක් කිරීම සිදු කරන ලද අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ පුහුණුකරු වන වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) , වලල ප්‍රධාන ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ඇගයීමට ලක් කිරීම ද සිදු කෙරින. ශ්‍රී ලංකා ඉතිහාසයේ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලියේදී පළමු රන් පදක්කම මෙවර තරගාවලියේදී ලක්මවට හිමිකර දීමට තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව සමත් වූ අතර , මෙම තරගාවලියේදී මීටර් 800 තරඟයෙන් රන් පදක්කමත්, මීටර් 400 බාලිකා අවසන් මහා තරගයේ රිදී පදක්කමත් , මිශ්‍ර මීටර් 400x4 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් ශ්‍රී ලංකා මතාවට හිමි කර දීමට තරුෂි කරුණාරත්න සමත් විය. එසේම වලල ඒ රත්නායක විදුහලේ ශෙහාන් දිල්රංග ක්‍රීඩකයා ශ්‍රී ලංකා මාතාවට රන් පදක්කමක් හිමිකර දුන්නේ මිශ්‍ර මීටර් 400x4 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායම නියෝජනය කරමිනි. එසේම මොහු මෙම තරගාවලියේදී මීටර් 1500 හා 800 යන ඉසව් සදහා ද ඉදිරිපත් විය. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ මගපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම උත්සවය සදහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන ,වත්තේගම පොලිස් ස්ථානාධිපති සමන් ආරියදාස , වත්තේගම නගර සභාවේ ලේකම් එම්.මඩුගල්ල ,වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

මැදරට ක්‍රීඩා දක්ෂතා සහිත දරුවන් වෙනුවෙන් “ජවයට සවිය”.

මැදරට ක්‍රීඩා දක්ෂතා සහිත දරුවන් වෙනුවෙන් “ජවයට සවිය” මධ්‍යම පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ක්‍රීඩා දක්ෂතා සහිත දරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන පෝෂණ ශිෂ්‍යත්ව වැඩසටහන “ජවයට සවිය” වැඩසටහන ඉකුත්දා (08) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙම වැඩසටහනේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකු සදහා ක්‍රීඩා පෝෂණ ශිෂ්‍යත්ව වශයෙන් රුපියල් 7,78,900.00 මුදලක් පිරිනැමීම සිදුකරන ලදී.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දක්ෂතා දක්වා ජාතික තලය නියෝජනය කරමින් මධ්‍යම පළාතේ ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසහටන වාර්ෂිකව මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහතාම මහත්මීන් , ක්‍රීඩා නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පිළිසරණක් ඇවැසි ඔවුනට සරණක්.

පිළිසරණක් ඇවැසි ඔවුනට සරණක් වෙමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කායික සෞඛ්‍යය හා මානසික සුවතාව ප්‍රවර්ධනය උදෙසා මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දොළුව, පිහිඹිහේන වැඩිහිටි නිවාසය කේන්ද්‍රකරගනිමින් විශේෂ වැඩසටහනක් පසුගිය දා පැවැත්විණ.එම වැඩසටහන විශේෂාංග තුනකින් සමන්විත වූ අතර පිරිත් දේශනමය පිංකමක් පවත්වමින් එම වැඩිහිටියන්ට ආගමික ආශිර්වාදය ලබාදෙමින්, අක්ෂි සායනයක් හා ආවර්ජනා ගී මියැසිය ප්‍රසාංගික අත්දැකීම වැඩසටහන ද ඊට සමගාමීව පැවැත්විණ. එම වැඩසටහන සඳහා දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබුණු අතර එම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අයෝමි දුල්වල මහත්මිය හා දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න මහත්මිය ඇතුළු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා දොළුව ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊට සහභාගි විය.

ලෝක පරිසර දිනයට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහනුවර නගර සභාව එකාබද්ධව නව වැඩසටහනක්.

ලෝක පරිසර දිනයට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහනුවර නගර සභාව එකාබද්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනට සමගාමිව ගොහාගොඩ තේක්කවත්ත කසල අංගනය තුළ ආදර්ශ ගොවිපොළක් ස්ථාපිත කරමින් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හා පරිසර දිනයට සමගාමිව රුක්රෝපණය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීම පසුගියදා ආරම්භ කරන ලදී. මෙම ආදර්ශ ගොවිපොළ පවත්වාගෙන යාමට අවශ්‍ය මුලික සැලසුම් සකස් කිරීම , උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහය ද ලබා ගනිමින් භුමි අලංකරණ සැලැස්මකට අනුව දිගුකාලින ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම වැඩසටහන මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහනුවර මහා නගර සභාව එක්ව ක්‍රියාත්මක කෙරේ. මෙහි සමාරම්භක අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර , මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

අකුරණ ව්‍යවසායකයන් ඇගැයේ.

අකුරණ ව්‍යවසායකයන් ඇගැයේ. අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයමින් ඔවුනට සහතික පත් පිරිනැමීමේ වැඩසටනක් ‘අභිමාන’ මැයෙන් අලවතුගොඩ ‘ගෝල්ඩන් ඒ නයින්’ හෝටල ශාලාවේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය සිය කාර්ය මණ්ඩලයේ සහය ඇතිව අමානා බැංකුවේ අනුග්‍රහය ද සහිත ව සංවිධානය කළ මේ වැඩසටහනේ දී කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන අංශ තුන යටතේ පළමු හා දෙවන ස්ථාන හිමි කරගත් ප්‍රදේශයේ ව්‍යවසායකයන් වෙත සම්මාන ද පිරිනැමිණ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මෙසේ ව්‍යවසායකයන් ඇගැයීම හා ඔවුනට අනුග්‍රහ දැක්වීම මේ අවදියේ අතිශය වැදගත් මෙහෙවරක් වන බව යි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සිදුවූ සමයේ දී තමා හා පළාත් සභාව පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිය ඉහළ නැංවීම උදෙසා මහත් වෙහෙසක් දැරූ බව ඔහු සිහිපත් කළේ ය. 2020 වර්ෂයේ දී එය පළාත් සභාව විසින් සංවිධානය කරන ලද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එක් කළ ප්‍රදර්ශනය (ඉනෙක්ස්) වෙතින් ලද සාර්ථකත්වය ඔහු අවධාරණය කළේ ව්‍යවසායකයන් සේම පාරිභෝගිකයන් ද රැක ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි. එය ව්‍යවසායකයන්ගේ ජාතික වගකීමක් බව ද අනතුරුව ඔහු කියා සිටියේ ය. මෙම වැඩසටහනට ගමගේ මහත්මිය හා ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීහු ද, මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලයේ නිලධාරීහු ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ වැඩසටහනේ අනුග්‍රාහක පාර්ශ්වය ද එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook