සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී.

විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී. සරම්ප එන්නත ලබා ගැනීමට නොහැකි වූ මහනුවර දිස්ත්‍රික්කයේ දරුදැරියන් සඳහා මෙම මස තුළදී යළි සායන කිහිපයක් පැවැත්විමට තීරණය කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත මාසරච්චි මහතා පවසයි. උණ ඇතුලු විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකිවූ පිරිස් වෙනුවෙන් මෙම මස 13, 20 සහ 27 යන දිනවලදී මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී පස්වරු 03.00ට එන්නත ලබා දෙන බව වෛද්‍යවරයා කීවේය. මහනුවර දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායමෙන් 90.4%ක් එන්නත ලබා ගත් බව කී ඒ මහතා එය දෙවැනි වන්නේ යාපනය දිස්ත්‍රික්කයට පමණක් යැයි ද ප්‍රකාශ කළේය. 3550කු එන්නත ලබා ගත් බව කී ඔහු 75 දෙනෙකු එන්නත ප්‍රතික්ෂේප කළ බව ද කීවේය. ආගමික විශ්වාස ඇතුලු විවිධ හේතුමත එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් පවා සිය දරුවන්ට එන්නත ලබාදීමට උනන්දුවීම කැපී පෙනෙන කරුණක් යැයි ද මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත සමාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ප්‍රභාත් මද්දුමආරච්චි මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි.

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ප්‍රභාත් මද්දුමආරච්චි මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රභාත් මද්දුමආරච්චි මහතා සුභ මොහොතින සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේදී පසුගිය (08) සිදු විය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා කෙසෙල්වත්ත ශ්‍රී තක්ෂිලා , පානදුර ශ්‍රී සුමංගල හා මොරටුව ශාන්ත සෙබස්තියන් යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගනිමින් 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ , කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ , මහනුවර කඩවත් සතර ගගවටකොරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර ඇති ඒ මහතා, මෙම තනතුරට පත්වීමට ප්‍රථම මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළේය. මෙම අවස්ථාවට මහනුවර මහා නගර සභාවේ හිටපු පුරපති කේසර සේනානායක ,නියෝජ්‍ය පුරපති ඉලාහි ආබ්දීන් ,විපක්ෂ නායක සේන දිසානායක , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක් සිටියහ.

දේශීය කිරි වෙළද පොලට නාවලපිටියෙන්...

දේශීය කිරි වෙළද පොලට නාවලපිටියෙන් නැවුම් කිරි,ජාතික කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් සපයනු ලබන මධ්‍යම පළාතේ , නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම සදහා ඉතා හොද පසුබිමක් පැවතිය ද , පශු සම්පත් ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන් ඇතුළු අත්‍යාවශ්‍ය මානව සම්පතේ අඩුව හේතු කොට කිරි නිෂ්පාදකයන් හා බලධාරීන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. පළාතට පශුවෛද්‍යවරුන් 84 දෙනෙක් අවශ්‍ය නමුත් දැනට සේවය සදහා යොදවිමට හැකි වී ඇත්තේ 49 දෙනෙකු පමණක් බවත් , එකම ගවයෙක් හෝ ඇති නොකරන මොරටුව වැනි කොට්ඨාශය වල කිසිදු සේවයක් නොගන්නා පශුවෛද්‍යවරුන් 10 දෙනෙක් කාර්යාලගතව සිටින බවත් , අවශ්‍යතා නිසි පරිදි තුලනය කර ගත හැකිනම් වඩාත් පුළුල් මෙහෙවරක් ඉටු කල හැකි බවත් පෙන්වා දෙමින් පළාත තුල පවතින් ඌන උපයෝජිත රාජ්‍ය ඉඩම්, සම්පත් මහජන සුබ සිද්ධිය සහ පළාතේ සංවර්ධන සදහා භාවිතයට ගත යුතු බව අවධාරණය කරනු ලැබිය. පළාත් ආණ්ඩුකාරවරයා මෙම අදහස් දක්වනු ලැබුවේ, අද පෙරවරුවේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ දී , පැවති ෆ්‍රෙස් ලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව විවෘත කිරීම, සහ සැවන්දරා රෙස්ට් භෝජනාගාරය ජන අයිතියට පැවරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය ට අයත් ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්ත ශාලාව තුලින් දිනකට කිරි ලීටර් 10000- 15000 පමණ ධාරිතාවයකින් නිෂ්පාදන කටයුතු කිරීමේ හැකියාව පවති. රුපියල් මිලියන 1100 ක ආයෝජනයකින් නිෂ්පාදන කටයුතු ආරම්භ කල මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කිරි ගොවි පවුල් 50 කට පමණ සිය නිෂ්පාදන සෘජුවම අලෙවි කිරීමේ අවස්ථාව ලැබෙන අතර රැකියා විරහිත තරුණ තරුණියන් 50 කට පමණ රැකියා අවස්ථාවන් ද සම්පාදනය වේ. “ ෆ්‍රෙස්ලන්ඩ්” වෙළද නාමයෙන් ගමින් ගමට දොරින් දොරට නැවුම් එළකිරි ලබා බෙදා හැරීමටත් , කිරි , බටර් , යෝගට් සහ චීස් වැනි නිෂ්පාදනයන් වෙළද පොළට නිකුත් කිරීමටත් සැලසුම් කොට අතර , ප්‍රංශ රජයෙන් ලබා ගත් ණය ආධාර සහ කිරි සහ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන පිලිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය වෙත මුදාහරිනු ලැබිය . මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩි. බී හේරත්, මහනුවර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ , හිටපු පළාත් ආණ්ඩුකාර සහ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු ජනතා නියෝජිතයන් , පළාත් සමුපකාර අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක , පළාත් සමුපකාර කොමසාරිස් අමිල නවරත්න,කෘෂිකාර් ම අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් එක් වූ අතර නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ජගත් ලක්ෂමන් ගලප්පත්ති මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් උත්සව කටයුතු සංවිධානය කරනු ලැබිය.

මධ්‍යම පළාත් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්.

මධ්‍යම පළාත් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්. 76 වන ජාතික නිදහස් දින උළෙලට සමගාමිව සංවිධානය කෙරෙන මධ්‍යම පළාත් නිදහස් සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් 04 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණ. මධ්‍යම පලාතේ මෙවර සැමරුම් උළෙල මහත් අභිමානයෙන් සැමරීම වෙනුවෙන් පලාතට අයත් මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනම එකාබද්ධ වී සැමරුම් උළෙල සංවිධාන කිරීම පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී. ඒ අනුව ප්‍රධාන උළෙල මහනුවර මහමළුව අභියසදී හා ඊට සමගාමිව රුක් රෝපණ වැඩසටහනක් පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කිරීමට යෝජනා විය. නිදහස් දින උළෙලට සමගාමිව මෙවර දිවයින පුරා පැල ලක්ෂ 20ක් රෝපණය කිරීමට සැලසුම් කොට ඇති අතර , ඊට වැඩි දායකත්වයක් මධ්‍යම පළාතෙන ලබාදීමට අපේක්ෂිතය.පසුගිය 75 වන නිදහස් දින උළෙලට සමගාමිව පල්ලෙකැලේ පිහිටි යුදහමුදා රයිෆල් කෝ බලකා භුමියේ අක්කර පහළොවක පොල් වගාකිරීම ද සිදුකරන ලදී. මෙවර පළාත් රාජ්‍ය ආයතන ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් , ශ්‍රී දළදා මාලිගාව , ශ්‍රී ලංකා යුද හමුදාව ,ශ්‍රී ලංකා පොලිසිය , පරිසර පොලිස් ඒකකය , බන්ධනාගාරය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් වික්ටෝරියා මහවැලි රක්ෂිත ප්‍රදේශය , පල්ලෙකැලේ පිහිටි යුදහමුදා රයිෆල් කෝ බලකා භුමිය ඇතුළු ප්‍රදේශයන්, ප්‍රධාන මාර්ගය දෙපස රුක් රෝපණය කිරීමට මෙහිදී තීරණය කෙරින. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාතයාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , සභා ලේකම් සුජානි විජේතුංග , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක ,මහනුවර නාගරික කොමසාරි ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

යොවුන් දහම් සක්මන වැඩසටහන මෙවරත් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේදී.

යොවුන් දහම් සක්මන වැඩසටහන මෙවරත් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේදී. අද රටේ තරුණ තරුණියන් මුහුණදෙන අභියෝග ජයගැනීම වෙනුවෙන් දරුවන් යහමගට ගැනීමේ , සමාජ ගත කිරීමේ ආගමික වගකීම ඉටුකිරීම කාලීනව අවශ්‍යම යුගයක් බවට වෙලා. රටේ 40,30000 පමණ වන තරුණ තරුණියන්හට දහමේ ආභාෂය ධර්මයේහි මගපෙන්වීම අවශ්‍යම මොහොතක් අද උදාවෙලා. එවන් වටපිටාවක් තුළ “යොවුන් දහම් සක්මන” වැඩසටහන අනාගතය ගොඩනැගීමේ පදනමක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මෙම වැඩසටහන පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අවස්ථාවේ දිය. මෙහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ නායක ස්වාමින් වහන්සේ වන නාලන්දේ පවර හිමියන් විසින් පහදන ලදී. පාසල් දරුවන්,විශ්ව විද්‍යාල ප්‍රජාව , උසස් තාක්ෂණ ආයතනවල දරුවන් , පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන් ඇතුළුව ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන් මෙම වැඩසටහන සදහා සහභාගී කරගැනීමට සැලසුම් කොට ඇත. පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් මත ක්‍රියාත්මක කෙරෙන යොවුන් දහම් සක්මන වැඩසටහන 2016 වර්ෂයේ දී ආරම්භ කොට ඇත. 2024 වර්ෂයේ වැඩසටහන එලබෙන පෙබරවාරි මස 10 දින මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර , තරුණ තරුණියන් 10000 කට අදික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook