*පාපැදි මිතුරු නගරයක් ලෙස මහනුවර නගරය සංවර්ධනය සදහා සාකච්චාවක්.* !!
*පාපැදි භාවිතාව ප්‍රවර්ධනය සදහා වැඩසටහනක්*
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයකට අනුව, මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථ නිදහස් දිනයක් පැවැත්වීම සදහා කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් එම මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී (3) පැවැත්විය.
ඒ අනුව, මෝටර් රථ වලින් නිදහස් දිනය පැවැත්වීම සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම මෙදින සිදු වු අතර මහනුවර නගරයේ සිට ගන්නෝරුව ප්‍රදේශය දක්වා වු මාර්ගය මෙම වැඩසටහනේ පාපැදි ධාවනය සදහා සුදුසු බවත්, ගන්නෝරුව ප්‍රදේශය මූලික කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට උචිත බවත් මෙහිදි යෝජනා විය. එම අවස්ථාවේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සදහන් කර සිටියේ, මෝටර් රථ නිදහස් දිනයන් විදේශ රටවල බහුල වශයෙන් දැකිය හැකි බවත්, එමගින් ශාරීරික , මානසික ආර්ථික හා සංචාරක වශයෙන් විශාල ප්‍රතිලාභයන් අත්වන බවත්ය. පා පැදි භාවිතයෙන් හෝ ඇවිදිමින් නම් කළ මාර්ග තීරුවේ ගමන් ගැනීමට සීමා නොවී, හදුනාගන්නා ලද ප්‍රදේශයක් තුල විචිත්‍රාංග සහ නිෂ්පාදන අලෙවිකුටි ඇතුලත් කරමින් ජනතාව සදහා වෙනස් වු වැඩසටහනක් නිර්මාණය කිරීමත්, පා පැදි ධාවනය දිරිමත් කිරීමත් මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන බවත් සංචාරකයින් සදහා නවමු අත්දැකීමක් ලබා දීමටත් මෙය ඉවහල්විය හැකි බව එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාව සදහා මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක,මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක සේන දිසානායක, යටිනුවර ප්‍රදේශය සභා සභාපති කේ.රූපස්සර, පාපැදි සංගම් නියෝජනය කරමින් සහ පාපැදි භාවිතාකරන වෘත්තීය ප්‍රජාව, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂක ආර්. බණ්ඩාර, ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ලේකම් කුමුදුණි කරුණාරත්න, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාව සදහා එක් ව සිටියේය.