මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා හොකි තරගාවලියේ ශුරතා මහනුවර කිංග්ස්වුඩ් හා ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය දිනා ගනී.

මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා හොකි තරගාවලියේ ශුරතා මහනුවර කිංග්ස්වුඩ් හා ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය දිනා ගනී. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවත් වූ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා හොකි තරගාවලියේ පිරිමි ශුරතාවය දිනා ගැනීමට මහනුවර ආදී කිංග්ස්වුඩ් ක්‍රීඩා සමාජය සමත් වූ අතර කාන්තා ශුරතාවය ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය දිනා ගන්නා ලදී. තරඟාවලියේ අවසන් පූර්ව තරගය වලදී පිරිමි අංශයෙන් ආදී සිල්වෙස්ටර් ක්‍රීඩා සමාජය ගෝල 0 - 2 කින් පරාජය කළ කිංග්ස්වුඩ් ක්‍රීඩා සමාජය ජය ගන්නා ලද අතර දෙවන අර්ධ අවසන් තරගයේදී KH & FC කණ්ඩායම 0 - 2 ලෙස ලබා ගනිමින් ආදි විද්‍යාර්ථ ක්‍රීඩා සමාජය ජය ගන්නා ලදී. ඒ අනුව අවසන් තරගය සදහා ආදි විද්‍යාර්ථ කණ්ඩායම හා ආදී කිංග්ස්වුඩ් කණඩායම් සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ගෝල 0 - 1 ලෙස ලබා ගනිමින් ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර ආදී කිංග්ස්වුඩ් ක්‍රීඩා සමාජය සමත් විය. අනුශුරතාවය ආදි විද්‍යාර්ථ කණ්ඩායමට හිමි විය. කාන්තා අර්ධ අවසන් පලමු තරග සීතාදේවි ක්‍රීඩා සමාජය හා ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය අතර පවතී අතර එහිදී ගෝල 0- 2 ලෙස ලබා ගනිමින් ජය ලබා ගැනීමට ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය සමත් විය .දෙවන අර්ධ අවසන් තරගයේ දී ගෝල 0 – 3 ලෙස ලබාගනිමින් මැණික්දිවෙල ක්‍රීඩා සමාජය පරාජය කරමින් මහනුවර කාන්තා කණ්ඩාය ජය වාර්තා ලදී. අවසාන තරගයේදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ස්වර්ණමාලි ක්‍රීඩා සමාජය මහනුවර කාන්තා කණ්ඩායම ගෝල 3 - 4 ලෙස ලබා ගනිමින් පරාජය කොට ශුරතාවය හිමිකර ගන්නා ලද අතර අනුශුරතාවය මහනුවර කාන්තා කණ්ඩායමට හිමි විය. මෙම තරගාවලිය මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන ලද අතර තරගාවලියේ ජය සංකේත ප්‍රධානය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි චන්න සෝමරතන මහතා ඇතුළු පිරිසක් එක් වූ අතර තරගාවලිය මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ දී 5 දින පැවැත්විණ.

මධ්‍යම පළාත තුළ රජයේ ඉඩම් බදු පදනමින් බැහැර කිරීම හා පළාත් සභාව සදහා අයවන ඉඩම් බදු ආදායමේ ප්‍රගතිය සොයා බැලේ..

මධ්‍යම පළාත තුළ රජයේ ඉඩම් බදු පදනමින් බැහැර කිරීම හා පළාත් සභාව සදහා අයවන ඉඩම් බදු ආදායමේ ප්‍රගතිය සොයා බැලීම පිළිබදව වැඩසටහනක් 07 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඉඩම් බදු සම්බන්ධයෙන් ප්‍රාදේශීය පරිපාලනය අතර මනා සම්බන්ධිකරයක් ඇති කරමින් අපේක්ෂිත අරමුණ ලගාකර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රගතිය සොයා බැලීමේ වැඩසටහන සංවිධානය වී පැවතුනී. මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් තුළ පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් වාර්ෂිකව ඇස්තමේන්තු කොට පවතින බදු ආදායමේ ප්‍රගතිය විමසා බැලීම , හිග බදු ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කෙරෙහි අවදානය මෙහිදී යොමු කරන ලද අතර ප්‍රාදේශීය පරිපාලනය හා පළාත් රාජ්‍ය යාන්ත්‍රනය ඒකාබද්ධව පළාතේ අවසන් අරමුණ ජයගැනීමට එක්ව කටයුතු කිරීම වඩා උචිත වන බව මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම වර්ෂයේ ගෙවීගිය මාස හතරක කාලය තුළ අපේක්ෂිත බදු ආදායමෙන් 50% රැස්කර ගැනීමට හැකිව ඇති බවත් , හිග බදු ආදායම එක්රැස් කිරීම් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ සදහා ප්‍රාදේශීය මට්ටමෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී. එසේම තවදුරටත් නව බදු කරුවන් හදුනාගැනීමේ ක්‍රියාවලිය විදිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම , පළාත තුළ පවතින හිස් ඉඩම් පලදායිව යොදා ගැනීම ඇතුළු ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය සදහා උපදෙස් ලබාදීම ද මෙහිදී සිදුවිය. මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් , පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

"උරුමය" ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු විමසා බැලේ......

"උරුමය" ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු විමසා බැලීම පිළිබද විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී 07වන දින පැවැත්විය. කඩිනමින් "උරුමය" ඉඩම් ඔප්පු ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු යොදා පවතින අතර මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් මේ වන විට ඒ සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා පවතින ගැටළු කෙරෙහි අවදානය යොමු කරමින් ඒවා නිරාකරණය කර ගැනීම සදහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරින. පළමු අදියර යටතේ මධ්‍යම පළාත සදහා ඉඩම් ඔප්පු 611 ක් ලබාදීම සිදුකර ඇති අතර දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ දී පළාතේ ඉඩම් හිමියන්හට වඩා සාධාරණයක් වන අයුරින් එම ගැටලු විසදීම සදහා සියලු පාර්ශවයන් එක් ව කටයුතු කිරීම කාලෝචිත බවත් මෙහිදී අවාධාරණය කෙරින. මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ (මාර්ගගත තාක්ෂණයෙන්), ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් , පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින්..

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ජාවක් මහා සංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 07 වන දින මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්විණ. 2024 මැයි මස 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම ජාතික වෙසක් උත්සවය ආගමික සාසනික ප්‍රබෝධය ඇතිවන ලෙස අංග රැසක් ඇතුලත්ව උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අපේක්ෂිතය. මැයි 21 සිට 27 දින දක්වා මෙම ජාතික උත්සවය සතියක් පුරා සැමරීමට පියවර ගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ආවරණය කරමින් විවිධ ආගමික , සාසනික හා සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කොට ඇත. මෙම සාකච්ඡාවේදී ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු හා එහි පෙළ ගැසීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න යන මහත්ම මහත්මීන් , බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් , දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

පළාත් පාලන ආයතනවල පුස්තකාලවලට නව මෘදුකාංගයක්.

පළාත් පාලන ආයතනවල පුස්තකාලවලට නව මෘදුකාංගයක්. පළාත් පාලන ආයතනවල පුස්තකාලයන් සඳහා, නව කඩියා (KIK) මෘදුකාංගය ස්ථාපනය කිරීම හා භාවිතය පිළිබඳ ප්‍රජා සංවර්ධන නිළධාරින් දැනුවත් කිරීමේ එක් දින ප්‍රායෝගික (පරිගණක) පුහුණු වැඩමුළුවක්, පසුගිය දා (03) නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. නවීන තාක්ෂණයට අනුගත වෙමින් Bar code හා QR code යන ක්‍රමවේදයන් භාවිතා කරමින් පුස්තකාලයන් හී පොත් හා අනෙකුත් භාණ්ඩ වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව භාණ්ඩ සමීක්ෂණය සඳහා යොදා ගත හැකිවීම මෙම මෘදුකාංග‍යේ විශේෂත්වයයි. වැඩමුළුවේ සම්පත්දායක ලෙස කිත්සිරි බී. දිසානායක මහතා කටයුතු කරන ලද අතර ඒ මහතා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රජා සංවර්ධන නිළධාරියෙකු ලෙස වසර විසිහතක සේවා පළපුරුද්දක් ඇති අතර මෙම මෘදුකාංගය ඔහු විසින් නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ ආරාධිත බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook