මැදරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඩිජිටල් තාක්ෂණ සහය  ඩිජිටල් සංචාරක වේදිකාව විවෘත කෙරේ.

මැදරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඩිජිටල් තාක්ෂණ සහය ඩිජිටල් සංචාරක වේදිකාව විවෘත කෙරේ.

මැදරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඩිජිටල් තාක්ෂණ සහය ඩිජිටල් සංචාරක වේදිකාව විවෘත කෙරේ 

 

ජාතික ආර්ථික හා සමාජයීය උන්නතිය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම  ඉදිරි වර්ෂය වෙනුවෙන් වූ අය - වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්  බව සිහිපත් කළ  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මෙය යුගයේ අවශ්‍යතාවක් මෙන්ම මධ්‍යම පළාතේ අවශ්‍යතාවක්ද වන බව කියා සිටියේ ය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ඉහළ ම දායකත්වයක් සපයන සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම කෙරෙහිද  ආණ්ඩුකාර ගමගේ මහතා සිය අවධානය යොමු කළේ ය. ගෙවුණු දෙවසර තුළ කොවිඩ් වෛරස බලපෑම හා වෙනත්  හේතු මත මධ්‍යම පළාත  ඇතුළු සමස්ත දිවයිනේ ම සංචාරක ව්‍යාපාරය  අර්බුදයට ගිය වග සඳහන් කළ ඔහු එය ජය ගැනීමට ඩිජිටල් තාක්ෂණය මහෝපකාරී වන්නේ ය යන්න කියා සිටියේ ඉන්දුනීසියාව හා මාලදිවයින යන රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරමිනි. 

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙම අදහස් පළ  කළේ  මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය හා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ තාක්ෂණික සහය සහිත ව මධ්‍යම පළාතේ සංචාරක  ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන  ‘ඩිජිටල් සංචාරක වේදිකාව’  (DIGITAL TRAVEL PLATFORM  ) හඳුන්වාදීමේ හා ආරම්භ කිරීමේ අවස්ථාවට අද දින (16) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී  ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මේ යටතේ මධ්‍යම පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ නව පෙළගැස්මක් නිර්මාණය කෙරේ. සංචාරක ව්‍යාපාරයේ සියලු පාර්ශව මෙහිලා දායක කර ගැනීමට නියමිත ය. එසේම  ඔවුනගේ කාර්යයන් අතර ධනාත්මක සම්බන්ධීකරණයක් තහවුරු කිරීමටද පියවර ගැනේ. වැඩසටහන වෙබ් අඩවියකින් හා ජංගම යෙදවුමකින් සමන්විත ය. අතිරේක  හෝ අතරමැදි ගාස්තුවකින් තොරව අදාළ සියලු සේවා සැපයේ.

 

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මධ්‍යම පළාත් කලාපීය ආර්ථික  සංවර්ධන ආයතනයේ සභාපති නීතීඥ ජානක සකලසූරිය , එහි අධ්‍යක්ෂ හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුද, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ද,මධ්‍යම පළාතේ සංචාරක ව්‍යාපාරයෙහි නිරත ව්‍යවසායකයන් ද, සංචාරක මඟ පෙන්වන්නන් හා සංචාරක මාර්ගෝපදේශකයන් ද, සංචාරකයන් වෙත ප්‍රවාහන පහසුකම් සපයන්නන් ද මේ අවස්ථාවට  සහභාගී වී සිටියහ.

 

මෙහිදී  අදහස් දක්වමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා කියා සිටියේ මෙරට වාර්ෂික විදේශ විනිමය ඉපැයීමෙන් සැලකිය යුතු කොටසක් සපයන සංචාරක ව්‍යාපාරය අද දවසේ දී මුහුණ පා සිටින අභියෝග ජය ගැනීමට මෙම වැඩසටහන මනා ප්‍රවේශයක් වන බව යි.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හි නියෝජ්‍ය කළමණාකරු රසිත  අබේකෝන් හා එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී  දිනේෂ් පෙරේරා යන නිලධාරීහු වැඩසටහනේ ඵලදායිතාව හා වපසරිය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු  පැහැදිලි කළහ. වැඩසටහනේ තාක්ෂණ පාර්ශ්වය මෙහෙයවන ටීම් මේට් හි ප්‍රියංකර කෝරළගේ මහතා මෙහි ක්‍රියාකාරිත්වය  හා සංයුතිය පිළිබඳ සවිස්තරව කරුණු  දැක්වී ය.

 

ඉන් අනතුරුව පැමිණ සිටි මධ්‍යම පළාතේ සංචාරක  ව්‍යාපාරයෙහි නිරත පිරිස් වැඩසටහන යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගැනිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook