සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ  හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය ඉටු කරලීමේ මධ්‍යම පළාත් උත්සවයේ  සංවිධාන කටයුතු පිළිබඳ   සාකච්ඡාවට

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය ඉටු කරලීමේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවට

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රය නිසැකවම ජාතික උරුමයක් බවත්, කවර අපහසුතා පැවතිය ද එය අදාළ පාරම්පරික ලක්ෂණ සහිතව අඛණ්ඩව ම පැවැත්විය යුතු බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පවස යි. එසේම මෙහිදී රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේ ය. පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට මෙහිලා පැවරෙන වගකීම ද ඔහු අවධාරණය කර සිටියේ ය. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා මේ අදහස් පළ කළේ අද දින (07) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මෙවර හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය ඉටු කරලීමේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවට එක් වෙමිනි. පූජ්‍ය ඇටිපොල මහින්ද හිමියන් සාකච්ඡාවේ මුලසුන දරමින් හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රයේ වැදගත්කම හා එහි ඉතිහාසය පිළිබඳ කරුණු සාකච්ඡා සභාවට ඉදිරිපත් කළහ. මධ්‍යම පළාත් හිසතෙල් ගැල්වීමේ උත්සවය එළැඹෙන අප්‍රියෙල් 16 වන ඉරු දින පැවැත්වෙන්නේ මහනුවර ශ්‍රී නාථ දේවල පරිශ්‍රයේදී ය. නැකැත් වේලාව යෙදී ඇත්තේ එදින පෙ.ව.09.41 ට යි. උත්සවයේ සංවිධාන කටයුතු ඒ ඒ ආයතන වෙත පැවරිණි. සියලු කාර්යයන් පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව , ශ්‍රී දළඳා මාලිගාව,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මහනුවර මහා නගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා මහනුවර පොලිස් ස්ථානය , තලාතුඔය ශ්‍රී ලංකා නාවික හමුදා අනු ඛණ්ඩය, කඳුරට එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාව විසින් සිදු කරනු ලැබීමට නියමිත ය. ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඩබ්ලිව් එස්. බණ්ඩාරනායක මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේ ය. එසේම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි , පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජේ.බී. හේරත් යන මහත්ම මහත්මීහු ද, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද, ශ්‍රී ලංකා පොලිසියේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ. මෙම මූලික සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ මීළඟ සාකච්ඡාව නුදුරු දිනක දී පැවැත්වෙනු ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook