මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්.

අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන අංක 2023/17 දරන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛය මධ්‍යම පළාත් සභාව තුළ ක්‍රියාත්මක කරන ආකාරයත්, ප්‍රාථමික අංශය වඩා ඉඩ කඩ සහිත නව ස්ථානයක ස්ථාපිත කිරීම නිසා මහනුවර හේමමාලි බාලිකා විදුහලේ පළමු ශ්‍රේණියට බාලිකාවන් ඇතුළත් කර ගැනීමේ සීමාව වැඩි කිරීමේ හැකියාවත්, වර්තමානයේ මධ්‍යම පළාත් සභා බල ප්‍රදේශය තුළ පවතින පන්දහසකට අධික ගුරු හිඟය පියවා ගැනීම සඳහා වූ විභාග පැවැත්වීම අත්හිටුවීම විෂයෙහි විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් පිළිබඳ කරුණු විමසා බැලීමේ සාකච්ඡාවක් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ මහතා සමඟ පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න යන මහත්ම මහත්මීහු ද, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ. උක්ත චක්‍රලේඛයේ දැක්වෙන ඇතැම් නියමයන් හා කොන්දේසි මධ්‍යම පළාත් සභා අධ්‍යාපන ක්ෂේත්‍රයට උචිත පරිදි සංශෝධනය කොට එය පිළිගැනීමටත්, හේමමාලි බාලිකා විදුහලට අදාළ ගැටලුවට ඒ ඔස්සේ විසඳුම සපයා දීමටත්, එය පළාත් ආණ්ඩුකාර අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමටත්, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව හා ඌව ඇතුළු වෙනත් පළාත් සභා විසින් ගුරු පුරප්පාඩු පියවීමට කටයුතු කරන අන්දම යටතේ මධ්‍යම පළාතේ ගුරු හිඟයට පිළියම් යෙදීමටත් සාකච්ඡාවේ දී තීරණය කෙරිණි. ආණ්ඩුකාර ගමගේ මහතා සාකච්ඡාව අවසන පළාත් අධ්‍යාපන බලධාරීන් හමුවේ කියා සිටියේ චක්‍රලේඛය තවදුරටත් අධ්‍යයනය කොට උචිත සංශෝධන දැක්වෙන වාර්තාවක් සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook