
පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව වැඩසටහනක්.
පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති පසුබිමක කොමසාරිස් හා ලේකම් යන ප්‍රධානීන් විසින් මහජන අවශ්‍යතා කාර්යක්ෂමව, නිවැරදි ව හා ඵලදායී අන්දමින් ඉටු කරනු ලැබීම සඳහා වූ සුදුසු පියවර අනුගමනය කරලනු වස් පසුගිය දා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලබා දුන් උපදෙස් මාලාව සම්බන්ධයෙන් හා ඒ ආශ්‍රිතව පැන නඟින ගැටලු පිළිබඳව විමසා බැලීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රෝහණ දිසානායක , නාලක කෝට්ටෙගොඩ යන මහජන නියෝජිතයන් ද, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතා ද, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීහු ද, මාතලේ දිස්ත්‍රික් ලේකම් හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ද, මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු ද, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද සහභාගී වූහ. මෙහිදී උක්ත මාර්ගෝපදේශයනට අදාළ ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් පළාත් පාලන ආයතන සතු මහජන සේවා වගකීම නිවැරදිව හා කඩිනමින් ඉටු කරලනු පිණිස සහභාගී කර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් දීර්ඝ ව කරුණු විමසා බලන ලදී.