මහනුවර  මහජන අවශ්‍යතා වෙනුවෙන් වන රාජ්‍ය  මැදහත්වීම්  , ඒවායේ ප්‍රගතිය  සොයබලේ.

මහනුවර මහජන අවශ්‍යතා වෙනුවෙන් වන රාජ්‍ය මැදහත්වීම් , ඒවායේ ප්‍රගතිය සොයබලේ.

මහනුවර මහජන අවශ්‍යතා වෙනුවෙන් වන රාජ්‍ය මැදහත්වීම් , ඒවායේ ප්‍රගතිය සොයබලේ. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ඉකුත් (23) පෙරවරුවේ එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස් විය. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඇතුළු මහජන අවශ්‍යතා වෙනුවෙන් වන රාජ්‍ය මැදහත්වීම් , ඒවායේ ප්‍රගතිය හා ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සාකච්ඡා කෙරිණ. මේ අතර සංචාරක ආකර්ෂණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීම, සුළු අපනයන බෝග වගා කිරීම අවශ්‍යතාව, දුෂ්කර ප්‍රදේශවල මගී බස් රථ ධාවනය, මහනුවර නගර සංවර්ධනය හා ඊට අදාළ සැලසුම්, මාර්ග ප්‍රතිසංස්කරණය, ඉඩම් පරිභෝජනය, මළ අපද්‍රව්‍ය පිරිපහදු මධස්ථානයක් ඉදි කිරීම, ගංවතුර තත්ත්වයන් කළමනාකරණය, මහවැලි ගඟ ආශ්‍රිත ව නව වාණිජ කටයුතු ආරම්භ කිරීම, ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම යනා දී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එසේම ආයුර්වේද ඖෂධ හිඟය, අවිධිමත් කසළ බැහැර කිරීම, අනවසර ඉදිකිරීම්, වන අලි තර්ජන, අබලන් මාර්ග නිසා උද්ගත වන අවදානම ,කැලෑ ගිනි තැබීම් වැනි ගැටලු සම්බන්ධයෙන් ද කමිටුව සාකච්ඡා කළහ. දිස්ත්‍රික්කයේ අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය ද සැලකිල්ලට ලක් වූ කාරණා ය. ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන තෙක් නො සිට තිබෙන ප්‍රතිපාදන භාවිතයෙන් හා නිසි මූල්‍ය කළමනාකරණයකින් උක්ත අවශ්‍යතා හා ගැටලු අරභයා සාධනීය පියවර ගැනීමේ වැදගත්කම සම සභාපතිවරු දෙපල ම පැහැදිලි කර දුන්හ. මෙහිලා අදාළ සියලු රාජ්‍ය ආයතන ද, අර්ධ රාජ්‍ය ආයතන ද විවෘත හා පුළුල් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ යුතු බව ද ඔවුහු කියා සිටියහ. ඉහළ යමින් පවතින ඩෙංගු රෝග අවදානම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය. ප්‍රාදේශීය වසංගත වේදඥ්ඥ වෛද්‍ය ක්‍රිෂාන්ත මාපාආරච්චි මහතා මේ සම්බන්ධයෙන් සවිස්තර විග්‍රහයක් ඉදිරිපත් කළේ ය. කමිටු රැස්වීම අවසන අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ සාකච්ඡා කළ හා එකඟ වූ දෑ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය මීළඟ කමිටු රැස්වීම වෙත ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ යුතු බව ය. එමෙන් ම ඩෙංගු රෝග අවදානම මැඩ පැවැත්වීම කෙරෙහි සියලු පාර්ශ්ව නො පමාව අවධානය යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, පළත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද, , පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්ම මහත්මීහු ද, මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් ද කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook