
අකුරණ ව්‍යවසායකයන් ඇගැයේ.
අකුරණ ව්‍යවසායකයන් ඇගැයේ.
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අගයමින් ඔවුනට සහතික පත් පිරිනැමීමේ වැඩසටනක් ‘අභිමාන’ මැයෙන් අලවතුගොඩ ‘ගෝල්ඩන් ඒ නයින්’ හෝටල ශාලාවේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය සිය කාර්ය මණ්ඩලයේ සහය ඇතිව අමානා බැංකුවේ අනුග්‍රහය ද සහිත ව සංවිධානය කළ මේ වැඩසටහනේ දී කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන අංශ තුන යටතේ පළමු හා දෙවන ස්ථාන හිමි කරගත් ප්‍රදේශයේ ව්‍යවසායකයන් වෙත සම්මාන ද පිරිනැමිණ.
මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ මෙසේ ව්‍යවසායකයන් ඇගැයීම හා ඔවුනට අනුග්‍රහ දැක්වීම මේ අවදියේ අතිශය වැදගත් මෙහෙවරක් වන බව යි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සිදුවූ සමයේ දී තමා හා පළාත් සභාව පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිය ඉහළ නැංවීම උදෙසා මහත් වෙහෙසක් දැරූ බව ඔහු සිහිපත් කළේ ය. 2020 වර්ෂයේ දී එය පළාත් සභාව විසින් සංවිධානය කරන ලද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් එක් කළ ප්‍රදර්ශනය (ඉනෙක්ස්) වෙතින් ලද සාර්ථකත්වය ඔහු අවධාරණය කළේ ව්‍යවසායකයන් සේම පාරිභෝගිකයන් ද රැක ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි. එය ව්‍යවසායකයන්ගේ ජාතික වගකීමක් බව ද අනතුරුව ඔහු කියා සිටියේ ය. මෙම වැඩසටහනට ගමගේ මහත්මිය හා ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීහු ද, මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලයේ නිලධාරීහු ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ වැඩසටහනේ අනුග්‍රාහක පාර්ශ්වය ද එක්ව සිටියහ.