
ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනේ.
ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා (27) පෙරවරුවේ පැවැත්විණ. විශේෂ කඩයිම් විභාගයකින් අනතුරු ව සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගත් සිසුන් 160 දෙනෙකු (සිංහල මාධ්‍ය සිසුන් 120 ක් ද දෙමළ මාධ්‍ය සිසුන් 40 දෙනෙකු )මෙලෙස ඇතුලත් කරගන්නා ලදී.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර ගමගේ මහතා පවසා සිටියේ රටට ජාතියට ආදරය කරන දරුවන් පිරිසක් පාසල් අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත්, රටේ තිබෙන තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ විභාග ඉලක්ක කරගෙන දරුවා මෙහෙයවීමට දෙමාපියන්ට සිදුව ඇති බැවින් ජනාධිපතිතුමා ඇතුළු රජයේ බලාපොරොත්තුව වන්නේ මෙම විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපන රටාවේ වෙනසක් ඇති කිරීමයි. එසේම දැනුම, කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ වැඩ ලෝකයට ගැලපෙන වැඩදායි දරුවන් පිරිසක් බිහිකිරීමට නම් දරුවන්ට අමතර පන්ති වලින් තොරව ආත්ම විශ්වාසයෙන් යුතුව ජාතිය වෙනුවෙන් ,දරුවන් වෙනුවෙන් තම සේවය ඉටුකිරීම ගුරුවරුන්ගේ වගකීම බව ද වැඩිදුරටත් සදහන් කළේය.මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.එම් යූ.බී හේරත් මහතා,මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා විද්‍යාලයේ නිර්මාතෘ පාලිත ඇල්කඩුව මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.