රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී.

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී.

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී. ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 03 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොළ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. 2024 මැයි මස 21 වන දින රාජ්‍ය වෙසක් දින උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම ජාතික වෙසක් උත්සවය ආගමික සාසනික ප්‍රබෝධය ඇතිවන ලෙස අංශ රැසකින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ අනුව මැයි 21 සිට 27 දින දක්වා මෙම ජාතික උත්සවය සතියක් පුරා සැමරීමට පියවර ගෙන ඇති අතර මීට සමගාමීව දිවයින පුරා වෙසක් සතියක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කෙරේ. මාතලේ දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රධාන විහාරස්ථාන හතක් කේන්ද්‍රගත කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර දිස්ත්‍රික්කය පුරා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ආවරණය කරමින් විවිධ ආගමික හා සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කොට ඇත. සම්බුද්ධාලෝක පෙරහැර ඇතුළුව වෙසක් සැරසිලි, භක්ති ගීත, දන්සැල් ආදිය මෙන්ම වෙසක් සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු යොදා ඇති අතර මේ සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත විහාරස්ථාන රැසක් ඇතුළත් කිරීමට පියවර ගැනේ. මෙහිදී සංචරණ මුද්දර තුනක් හා සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම ට අපේක්ෂිත ය. ඉඩම් අයිතිය රහිත විහාරස්ථාන වෙත නිදහස් දීමනා පත්‍ර ප්‍රදානය කිරීම, පුරාවිද්‍යා ප්‍රදර්ශනයන්, ලේ දන්දීමේ වැඩසටහන්, රුක් රෝපණ වැඩසටහන්, අක්ෂි සායන, වෛද්‍ය කඳවුරු , ඇතුළු සමාජ සේවා රැසක් මීට සමගාමීව දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කෙරෙන අතර පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේලා සියක් නමක් සඳහා අධ්‍යාපන උපකරණ ලබාදීමට ද නියමිතය. එසේම ධර්ම යාත්‍රා තායිලන්ත සියම් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පිණ්ඩපාත වැඩසටහන දඹුල්ල විහාරස්ථානයේ සිට මාතලේ දක්වා පැමිණීමට ද කටයුතු යොදා ඇති බව මෙහිදී අනාවරණය විය. සමාප්ති උළෙල විසිහත් වන දින මිල්ලවානේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවේදී ජාතික වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු හා එහි පෙළ ගැසීම් පිළිබඳව සාකච්ඡා කළ අතර ආරක්ෂාව , රථ වාහන සැලැස්ම , යටිතල පහසුකම් ,සනීපාරක්ෂක කටයුතු, භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය පහසුකම් හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කරමින් වගකීම් ආයතන වෙත පැවරීම සිදුකරන ලදී. මේ අවස්ථාවට සමස්ත ලංකා සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් පූජ්‍ය කොස්ගොල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න යන මහත්ම මහත්මීන් , බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් , දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, සාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook