
සංචාරක දින සැමරුම මන්දාරම්නුවර දී
සංචාරක දින සැමරුම මන්දාරම්නුවර දී
සොබා දහමේ අපුර්වතම දායාදයක් වූ මන්දාරම්නුවර සංචාරක කලාපයේ සුන්දරත්වය ලොවට එළිදක්වමින්, සංචාරක ආකර්ෂණය ගොඩනැංවීම සහ ශ්‍රී ලංකාව තුළ තිරසර සංචරණය (promoting sustainable tourism) ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2024 සංචාරක දිනයට සමගාමිව සංවිධානය කල ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 24 දින මන්දාරම්නුවර සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් පැවැත්විණි.
මන්දාරමිනුවර සංචාරක කවයේ ආරාධනාවෙන් මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්‍යවරුන්ගේ සංගමයේ පුර්ණ දායකත්වයෙන් (CPTGLA) සහ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් සංවිධානය වූ මෙම වැඩසටහනට විවිධාංග රැසක් ඇතුලත් විය. කොලපතන, කබරගල සහ ඇතිනි යන සුන්දර දියඇලි නැරඹීමට ආරාධිත පිරිසයොමු කල අතර ඒ පිලිබදව මන්දාරම්නුවර සංචාරක කව සාමාජිකයන් විසින් දැනුවත් කිරීමට පියවර ගනු ලැබිය.
එහි සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පලාත් වෙළද, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්.යූ. නිශාන්ත, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර , සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති .එම්, හේවාවසම් සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ වීර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එම කටයුත්ත මධ්‍යම පළාත් පලාත් වෙළද හා සංචාරක දෙපාර්තමේන්තුව, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව, මහනුවර මහ නගර සභාව, නුවරඑලිය මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක පොලිසිය, හඟුරන්කෙත පොලිස් ස්ථානය, මන්දාරම්නුවර පොලිස් ස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවලද සහයෝගයෙන් සිදුකෙරිණි.
මහනුවර සහ අනුරාධපුරය හෝටල් සංගම් , ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවයන් රැසක් සහ දිවයිනේ ප්‍රසිද්ධ සංචාරක නියෝජිත ආයතන රැසක් ද මෙම සැමරුම් උළෙලට එක් විය.