නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍යය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ජුලි 31 දින පැවැත්විණ.සියළු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ හත්වන දැනුවත් කිරීමේ වැඩසටහන ලෙසින් මෙය සංවිධානය වී පැවති අතර එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය , පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව සියළු දෙනා අද පිළිගන්නවා. ඒ වෙනස විෂය මාලාවන්හි පමණක් සිදුකිරීම කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ . සමස්ත අධ්‍යාපන පද්ධතියේම මේ වෙනස සිදුකිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ප්‍රධාන කුළුණු පහක් පාදක කර ගනිමින් සිදුකරනවා.අපි උත්සාහ ගන්නේ දරුවන්ට හොඳම දේ ලබා දීමටයි. රට ඔසවා තැබීමට වෙනසක් අවශ්‍යයි. ඒ සඳහා මානව සම්පත මෙහෙයවීම සිදුවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය තුළින් සැමට ප්‍රවේශය ලබා දුන්නාට හරියට ප්‍රතිඵල ලැබෙනවාද කියන එක ගැටළුවක්. අද ලක්ෂ තුනක් පාසල් දරුවන් වර්ෂයකදී පාසලට ඇතුළත් වුවත් විසිදාහක් පමණ පාසල් පද්ධතියෙන් ඉබේම ඉවත් වීමක් සිදුවෙනවා. 2024 වර්ෂයේ පාදක කරගෙන මෙය විමසා බලා තිබෙනවා. ඔවුන්ට සමාජයේ දී මොකද වෙන්නේ. විශේෂයෙන්ම පිරිමි දරුවන් මේ අතර වැඩි ප්‍රමාණයක්. ඒවගේම අසූ දාහක් පමණ දරුවන් නිසි ලෙස පාසලට එන්නේ නෑ. කුමන හෝ හේතුවක් නිසා මෙය සිදු වෙනවා. මේ හැම දෙයකින්ම අදහස් වන්නේ හරියට ලැබිය යුතු දේ ලැබෙන්නේ නැති ගැටලුවක් පවතිනවා කියන එකයි. ඒ නිසා වෙනස සමාජය යහපතට, දරුවන්ගේ උන්නතියට , රටේ ආර්ථිකයට ගැලපෙන ලෙස ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයක්. අද පවතින අධ්‍යාපනය කුසලතා පාදක කර ගනිමින් ගොඩනැගී නොතිබීම ප්‍රධානම ගැටළුවක් . රැකියා ලෝකයට ගැලපෙන ලෙස මෙය සකස්වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම සියලු පළාත්වල අධ්‍යාපන දත්ත ඇතුලත් දත්ත පද්ධතියක් ඉදිරියේදී ආරමිභ කරනවා. පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනයේ සහ සම්පත් බෙදීයාමේ විෂමතාවට විසඳුමක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ලබාදීමත් රජයේ අරමුණක්. ඒ සඳහා සියළු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන පරිදි ග්‍රාමීය පාසල් සංවර්ධනයටද කටයුතු කරනවා යැයි වැඩිදුරටත් පැවසීය. පෙළපොත් වෙනුවට නවමොඩියුල් ක්‍රම හඳුන්වාදීම, කාල පරිච්ඡේදයන් නව ක්‍රමයකට සකස් කිරීම, ස්වයං අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛතාවය , තෝරා ගැනීමේ ප්‍රමුඛතා , එක් එක් දරුවන් සඳහා ඇගයීම් ක්‍රමවේද, අධ්‍යාපන ප්‍රගතිය සොයාබැලීමට විශේෂිත ක්‍රමයන්, ශාස්ත්‍රීය සහ කුසලතා විෂය ධාරා තෝරා ගැනීමේ අවස්ථා ආදී වූ ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී ඒ සඳහා අවශ්‍ය වන යෝජනා, අදහස් ලබාගැනීම වගේම පවතින ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම වැඩසටහන සංවිධානය වී පැවති අතර 2026 වර්ෂයේදී 1 වසර සහ 6 වසර සඳහා පමණක් මෙම නව ප්‍රතිසංස්කරණ ඇතුළත් කොට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය කරන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, රියාස් ෆාරුක්, තුෂාරි ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල පහළොවක් නියෝජනය කරමින් නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook