මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ දෙවැනි අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය දා (29) පස්වරුවේදී පැවැත්විණී.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් සහ දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.44ක් වැය කිරීමට නියමිතය. මංතීරු 04 කින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් 2029.05.28 දින අවසන් කිරීමට සැලසුම් කර ඇත. රඹුක්කන සිට ගලගෙදර දක්වා සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර 18.7ක් වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 4ක් යටතේ ක්‍රියාත්මක අතර දැනට මිරිගම සිට කුරුණෑගල දක්වා කොටස සම්පූර්ණයෙන් මහජනතාවට විවෘත කර තිබේ.එමෙන්ම මේ වන විට සිදු කෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදි පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාමහනුවර දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගත් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපිතියකට මුලපුරා ඇති බවත් මෙම ව්‍යාපෘතිය අපේ රටේ සමාජ ජීවිතය ඉහළ නැංවීම සඳහා ප්‍රබල පිටුවහලක් වන බවත් කීවේය.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක රියාස් ෆාරුක්, යන මහත්වරු ඇතුළු පළාත් පාලන ආයතන මහජන නියෝජිතයෝද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් එක් වූහ.
