මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ...

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ...

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොළ ශාලාවේදී  (23) දින පෙරවරුවේ පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික්කයේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල මේ දක්වා ප්‍රගතිය, සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් පවතින ගැටලු හා විසඳුම් යෝජනා සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.

මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන යටතේ 2026 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5,736.18ක මුදලක් වෙන් කර ඇති අතර, ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ගණන 1,475කි. මෙම රැස්වීමේදී මධ්‍යම පළාත් සභාව මගින් නිකුත් කර ඇති ගොඩනැගිලි, මාර්ග සහ වාරි ව්‍යාපෘතිවලට අදාළ BSR, HSR සහ ISR පිළිබඳ නිකුත් කර ඇති වසර මැද මිල මට්ටම් (2026) සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා දීම ද සිදුවිය.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම, ඉඩම් අත්පත් කරගැනීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවරවල ප්‍රගතිය, ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද,පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය හා මර්දනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. මාතලේ මහ නගර සංවර්ධන සැලැස්ම, දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ ආශ්‍රිත සංචාරක ගමනාන්ත හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී. නිමලසිරි, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, මධ්‍යම රජයේ සහ පළාත් සභා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook