මධ්‍යම පළාතේ විශේෂ අවශ්‍යතා සහ වැඩිහිටි ප්‍රජාව සම්බන්ධ විශේෂ රැස්වීමක්...

මධ්‍යම පළාතේ විශේෂ අවශ්‍යතා සහ වැඩිහිටි ප්‍රජාව සම්බන්ධ විශේෂ රැස්වීමක්...

 

මධ්‍යම පළාතේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සහ වැඩිහිටි ප්‍රජාව සම්බන්ධ විශේෂ රැස්වීමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (06) දින පැවැත්විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සංවිධානය කළ මෙම රැස්වීමේදී, මධ්‍යම පළාතේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් පවතින ගැටළු, අවශ්‍යතා හා ඉදිරි කටයුතු කෙරෙහි අවධානය යොමු කෙරිණි.

ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය, අධ්‍යාපන, පරිවාස, සමාජ සේවා, පළාත් පාලන, ආයුර්වේද සහ ක්‍රීඩා ආදී විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලබා දෙන සේවා මූලික කරගනිමින් මෙහිදී අදහස් හා යෝජනා, ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් ද එම ආයතනවල පවතින ආයතනික ගැටළු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එසේම වැඩිහිටියන් සහ ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තියට අනුව පහසුකම් ලබාදීමට මධ්‍යම පළාත සඳහා සැළැස්මක් සකස් කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා පළාතට අදාළ තොරතුරු සහ දත්ත පද්ධතියක් යාවත්කාලීනව පවත්වා ගැනීම සහ සියලු ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම, දිවාසුරැකුම් මධ්‍යස්ථාන, ළමා නිවාස ආයතනගත කිරීම, අධ්‍යාපනය සහ ක්‍රීඩා, වෘත්තීය පුහුණුව, පුනරුත්ථාපනය, රැකියා සහ ස්වයං රැකියා, ව්‍යවසායකත්ව පුහුණු ලබාදීම, පොදු ප්‍රවාහන ගැටළු, ප්‍රජාව සමාජගත කිරීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම ගැන්වීම, රැකියා සඳහා යොමු කිරීම, සෞඛ්‍ය හා සමාජීය ගැටළු සහ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය හා රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වැඩසටහන් කෙරෙහි ද අවධානය යොමු විය.

මීට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද "ආරෝග්‍යා" (Arogya) ජාතික වැඩසටහන, මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පළාත පුරා පවතින යාචක ප්‍රශ්නය පිළිබඳව කෙටි හා මධ්‍ය කාලීන විසඳුම් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, ආණ්ඩුකාර ලේකම් නිශාන්ත කරුණාතිලක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඒ.ඒ. වීරකෝන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, සමාජ සුභසාධක හා පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී. ගුණරත්න, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම්, මහාචාර්ය චන්ද්‍රිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook