මාතලේ උසස් පෙළ විශිෂ්ටයන් ඇගැයේ
සැබෑ අධ්‍යාපනික ජයග්‍රහණ ලබා ගත හැක්කේ පොත පතින් පමණක් ම නො වන බවත්, වසර 2,500 ක ශ්‍රේෂ්ඨ ඉතිහාසය විසින් උරුම කර දුන් සංස්කෘතිය හා එහි ම අංගයක් වන සභ්‍යත්වය සුරක්ෂිත කර ගැනීමෙන් අධ්‍යාපනික ජයග්‍රහණ තවදුරටත් තහවුරු වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පවස යි. උසස් පෙළ විභාගය ඉහළින් ම සමත් ව විශ්ව විද්‍යාල කරා ගිය ඇතැම් සිසුන් වර්තමානයේ දී හැසිරෙන ආකාරය අතිශයින්ම කනගාටුදායක වන බවද, උසස් අධ්‍යාපනයට අලුතෙන්ම පිවිසෙන සියලු සිසුන් මේ කෙරෙහි අපමණ සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේ පසුගිය වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉහළ ම කුසලතා ලබා ගත් සිසු සිසුවියන් අගයමින් ඔවුන් වෙත ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ඊයේ (25) මෙය පැවැත්වූයේ මාතලේ විද්‍යා විදුහලේ ප්‍රධාන ශාලාවේදී ය.
ඇගයීමට ලක් වූ සිසු සිසුවියන් සංඛ්‍යාව 16 දෙනෙකි. ඒ ශාන්ත තෝමස් , ශ්‍රී සංඝමිත්තා බාලිකා, දන්කන්ද මහා විද්‍යාලය , ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය හා විද්‍යා විදුහල යන පාසල් නියෝජනය කරමිනි.
ත්‍යාග පිරිනැමීම සඳහා ප්‍රධාන අමාත්‍ය අරමුදලෙන් අනුග්‍රහය ලබා ගෙන තිබිණි.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුද ඇගැයීමට ලක් වූ සිසු සිසුවියන් හා ඔවුනගේ දෙමාපියන් අමතා අදහස් දැක්වූහ.
පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතාද, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසූරිය මහත්මියද ,පළාත් අධ්‍යාපන බලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ