කෝප් විෂන් CO OP VISION ප්‍රදර්ශනය මහනුවර සහස් උයනේදී ඇරඹේ
මධ්‍යම පළාත් යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන , සමුපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යාංශයත්, මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවත්, ජාතික සමුපකාර සංවර්ධන ආයතනයත් එක්ව සංවිධානය කරන ‘කෝප් විෂන්’ (CO OP VISION) සමුපකාර සමිති හා ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය මහනුවර ‘සහස් උයන’ පරිශ්‍රයේදී අද දින (14) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් විවෘත කරන ලදී.
මේ සඳහා දිවයිනේ සියලු පළාත් නියෝජනය වීම විශේෂත්වයකි. උසස් තත්ත්වයේ සහල්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර , කරවල, කිරි ආශ්‍රිත නිෂ්පාදන, නිමි ඇඳුම් , මැටි භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, ආහාර නිෂ්පාදන , තෑගි භාණ්ඩ, හා පාරම්පරික ඖෂධ ආදිය සහනදායී මිල ගණන් යටතේ මෙහිදී මිලදී ගත හැකි ය.
ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමණු වනුයේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ සමුපකාර සමිතිවලට හා ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අවස්ථා උදා කර දීමත්, සමුපකාර සමිති හා මධ්‍යම පළාත් ව්‍යවසායකයන් අතර වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කරලීමත් ය. මේ වන විට විසිරී සිටින ව්‍යවසායකයන්ගේ ශක්‍යතා ඒකාත්මික කරමින් නවමු දර්ශනයක් ඔස්සේ ව්‍යවසායක සමුපකාර සමිතියක් බිහිකරලීමට ද මේ ප්‍රදර්ශනය ඉවහල් වනු ඇතැයි සංවිධායකයෝ විශ්වාසය පළ කරති.
ප්‍රදර්ශනය අද සිට දෙසැම්බර් 16 දා දක්වා දිනපතා පෙ.ව. 10.00 සිට ප. ව. 6.00 වන තුරු පැවැත්වේ.
විවෘත කිරීමේ අවස්ථාවට මහනුවර නගරාධිපති කේසර සේනානායක , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ සභාපති ජයලත් රවි දිසානායක, එහි අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි අයි. ඉලංගකෝන් හා පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.