“දේශීය ආහාර අළෙවි පියස” ජනතා අයිතියට!
අතීතයේ පැවති අපගේ පෝෂ්‍යදායි ආහාර රටාව අද අපෙන් ගිලිහිලා. එදා රට බේරා ගැනීම වෙනුවෙන් පැවති අරගල සදහා පුරෝගාමිත්වය ලබාදුන් සියලු විරුවන් තුළ පැවති ජවය , ශක්තිය අද අපේ ජනතාව තුළ නෑ. දේශීය ආහාරවල පවතින ගුණය පෝෂ්‍යදායි බව එදා විරුවන්ගේ ක්‍රියා තුළින් අපට පාඩම් කියා දෙනවා. අපේ රට ඇටයක් විසිකලාම පැලවෙන රටක්.අතීතයේ පැවති ස්වයං පෝෂිත බව අද නැවත රටට අවශ්‍ය වෙලා තියෙන යුගයක් මේක . අද අපි කම්මැලි ජාතියක් බවට පත් වෙලා .මේ තත්ත්වය වෙනස් වීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මාතලේ මහා නගර සභාව මගින් සභා අරමුදල් යොදවා ඉදිකළ “දේශීය ආහාර අළෙවි පියස” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මාතලේ නාගරික බල ප්‍රදේශය ආර්ථික කලාපයක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ එක් පියවරක් ලෙස මහා නගර සභාව මගින් රුපියල් මිලියන 54ක වියදමක් දරමින් මෙම අලෙවි පියස ඉදිකර ඇත. දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම හා ජනතාවගේ පෝෂණ තත්වය නගාසිටුවීම වෙනුවෙන් මාතලේ මහා නගර සභාව මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ඊට සමගාමිව මහා නගර සභා අරමුදල් යොදවා ඉදිකරන ලද “දේශීය ආහාර අළෙවි පියස” ජනතා අයිතියට පත් කිරීම ඉකුත්දා (26) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගර මධ්‍යයේදී සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ , මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් ,නියෝජ්‍ය නගරාධිපති අමිල් නිරෝෂන් ඇතුළු මන්ත්‍රිවරුන් , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වුහ.