Food Safety Program in Walapane Divisional Secretariat

සංචාරක ප්‍රවර්ධනයට මැදරට නව ප්‍රවේශයන්

විදේශීය සංචාරක ප්‍රවර්ධනය සඳහා ගලහ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් තුන්සියයක තේ වතු ඔස්සේ ගමන් මාර්ගයක් හදුන්වා දෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසයි.
තලවකැලේ, හපුතලේ, ලිදුල, බණ්ඩරවෙල, දෙමෝදර ඔස්සේ යෙදී ඇති මෙම මාර්ගය මගින් විදේශීය සංචාරක ආකර්ෂණය ඉහළ නැංවිය හැකි යැයි අමාත්‍යංශ ලේකම්වරයා කීවේය.
පේරාදෙණිය රාජකීය උද්භීත උද්‍යානයට වසර 200ක් සම්පූර්ණ වීමෙන් එම දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩල සඳහා තිළිණ ප්‍රදානය නිමිත්තෙන් ඊයේ (12) පැවැති උත්සවයේදී ඒ මහතා මේ බව කීවේය.
දෙශතක සංවත්සරය නිමිත්තෙන් එම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලැබූ හා දැනට සේවය කරන සියයකට අධික පිරිසක් එහිදී අමාත්‍යංශ ලේකම්වරයා අතින් තිළණ ලබා ගත්තෝය.
සංචාරක ප්‍රවර්ධනය නිමිත්තෙන් නව වැඩසටහන් රැසක් හදුන්වා දෙන බව කී ඒ මහතා තේ වතු හා සුන්දර ස්ථාන ඔස්සේ යෙදී ඇති මාර්ගය මගින් ඒ ඒ ගම්මාන සඳහා ආදායම් ඉපැයීමේ ක්‍රමෝපායන් හදුන්වා දෙන බවත් කීවේය.
සංචාරකයන් සඳහා සුදුසු ආහාර සකස් කිරීම, නේවාසික පහසුකම් හා මඟ පෙන්වීම් ආදිය මගින් ග්‍රාමීය මට්ටමට ආදායම් උත්පාදනය කිරීමේ අවස්ථාව හිමිවන බවත් හෙතෙම සඳහන් කළේය.
ලබන වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙම මාර්ගය ඔස්සේ සංචාරකයන්ට ගමන් කළ හැකි යැයි කී ඒ මහතා ඉදිරි මාස කිහිපය තුලදී විදේශීය සංචාරකයන් සඳහා ජංගම දුරකථන යෙදුමක් සකස් කොට ලබා දෙන බවත් කීවේය.
එහිදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට පිළිබද සියලු තොරතුරු එම යෙදුම මගින් ලබා ගත හැකි බවත් තමන්ට අවශ්‍ය මඟ පෙන්වන්නන් පිළිබද දත්ත පවා මෙම යෙදුමේ අන්තර්ගත වන බවත් ඒ මහතා කීවේය.
සංචාරකයන්ට වියදම් කිරීමට හැකි විද්‍යුත් කාඩ් පතක් ලබා දෙන බව කී ඒ මහතා එමගින් මුදල් වෙනුවට කාඩ් පතින් ගෙවීම් කළ හැකි බවත් ඒ අනුව සංචාරකයෙකු කොතරම් මුදල් ප්‍රමාණයක් මෙරටෙදී වියදම් කොට ඇත්දැයි ගණනය කළ හැකි යැයි ද ලේකම්වරයා කීවේය.
විදේශීය සංචාරකයන් මේ දක්වා නරඹන සාමාන්‍ය ස්ථාන පමණක් නොව දෙවන ලෝක යුද සමයේ මුහුදු බත් වූ සියයකට අධික යුද නෞකා, මෙරට රජ දවස ඓතිහාසික තොරතුරු ආදිය ද විවෘත විය යුතු යැයි වැඩිදුරටත් කීවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, උද්භීත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශලෝමනී ක්‍රිෂණරාජා මෙනවිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
මුලාශ්‍ර - මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයෙන්.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook