සංචාරක බංගලා භාරකරුවන් ,ස්ටුවර්ඩ් හා අරක්කැමියන් සදහා පුහුණු වැඩසටහනක්.
දේශීය හා විදේශීය රැකියා වෙළද පොලෙහි විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හදුන්වාදිය හැකි අතර මධ්‍යම පළාතේ තරුණ ප්‍රජාවගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA ) මගින් මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ.
එම වැඩසටහනට සමගාමිව කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සදහා ප්‍රබලව බලපාන හෝටල් ක්ෂේත්‍රයේ භාවිතා වන විධිමත් ක්‍රමවේද පිළිබදව දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනක් පසුගියදා මාතලේ හෝටල් පාසලේදී සිදු කෙරිණ.
මෙම වැඩසටහන සදහා සංචාරක බංගලා භාරකරුවන් ,ස්ටුවර්ඩ් හා අරක්කැමි යන ක්ෂේත්‍රයන්හි සේවයේ නියුක්ත නිලධාරින් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පළමු අදියර ලෙස සහභාගී විය. දෙදින වැඩසහටනක් ලෙස සංවිධානය වී පැවති මෙහිදී ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබාදීම සිදු කරන ලද අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිවයින පුරා විසිරී පවතින ආයතන වල රාජකාරි කරන අරක්කැමියන් 100 දෙනෙකු සදහා ඉදිරියේදී මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.
රාජකාරි වඩාත් නිවැරැදි හා කාර්යක්ෂමව සිදු කිරීම අරමුණු කර ගනිමින් අමුත්තන් පිළිගැනීම හා ආගන්තුක සත්කාරය ,ගෘහ පාලනය හා සූප ශාස්ත්‍රය යන විෂයයන් සදහා මනා නිපුණතාවයක් ලබාදීම මෙහිදී සිදුකරන ලදී.