ගඟසිරිපුර පෙරහර මංගල්‍ය සහතික පත්‍ර ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගඟසිරිපුර පෙරහර මංගල්‍ය සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොල චක්කින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදීපසුගිය (03) පැවැත්විය. ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම විදහාදක්වමින් ගම්පොල රාජධානි යුගයේ විශිෂ්ටත්වය යළි අනාගත පරපුරට දායාද කරමින් ශාසනික ආගමික පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ගඟසිරිපුර පෙරහර මංගල්‍යය ඉකුත්දා සාර්ථකව අවසන් කරන ලද අතර ඒ සඳහා සහභාගී වූ ශිල්පීන් හා සංවිධායක කමිටුව ඇගයීමට ලක් කිරීම හා ඔවුන්හට උපහාර පිදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර පැවතුණි. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුයේ කළ සේවයට උපහාර හා කෘතගුණ දැක්වීමේ ප්‍රථම ආදර්ශය සිදු කළේ බුදුන් වහන්සේ බවත් ඒ මඟ යමින් කුමන බාධක පැමිණියත් ආගමික පුනරුදය හා සංස්කෘතික උරුමයන් රැක ගැනීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ඉටුකරන මෙහෙය අති විශාල බවයි . සහජීවනය අවශ්‍යම යුගයක ගම්පොළ යුගයට නව සංස්කෘතිකාංග එක් කරමින් සියලු ආගමික ස්ථාන එක් කරමින් විශිෂ්ට සේවාවක් ලබාදෙමින් බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා දක්වන දායකත්වය කාලීන අවශ්‍ය තාවයක් වන බව වැඩිදුරටත් පැවසීය. මෙම පෙරහර බුද්ධශාසන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදුකරනු පෙරහැරක් ලෙස නීත්‍යානුකූල තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇත. ගම්පොල ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත බලංගොඩ සමිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය , හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ගම්පොළ නගරාධිපති සමන්ත අරුණ කුමාර, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ බණ්ඩාර උඩපළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන්, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ගම්පොළ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ගම්පොළ පොලිස් ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය ඉටු කරලීමේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවට

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රය නිසැකවම ජාතික උරුමයක් බවත්, කවර අපහසුතා පැවතිය ද එය අදාළ පාරම්පරික ලක්ෂණ සහිතව අඛණ්ඩව ම පැවැත්විය යුතු බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පවස යි. එසේම මෙහිදී රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේ ය. පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට මෙහිලා පැවරෙන වගකීම ද ඔහු අවධාරණය කර සිටියේ ය. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා මේ අදහස් පළ කළේ අද දින (07) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මෙවර හිසතෙල් ගැල්වීමේ නැකත් චාරිත්‍රය ඉටු කරලීමේ මධ්‍යම පළාත් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවට එක් වෙමිනි. පූජ්‍ය ඇටිපොල මහින්ද හිමියන් සාකච්ඡාවේ මුලසුන දරමින් හිසතෙල් ගැල්වීමේ නැකැත් චාරිත්‍රයේ වැදගත්කම හා එහි ඉතිහාසය පිළිබඳ කරුණු සාකච්ඡා සභාවට ඉදිරිපත් කළහ. මධ්‍යම පළාත් හිසතෙල් ගැල්වීමේ උත්සවය එළැඹෙන අප්‍රියෙල් 16 වන ඉරු දින පැවැත්වෙන්නේ මහනුවර ශ්‍රී නාථ දේවල පරිශ්‍රයේදී ය. නැකැත් වේලාව යෙදී ඇත්තේ එදින පෙ.ව.09.41 ට යි. උත්සවයේ සංවිධාන කටයුතු ඒ ඒ ආයතන වෙත පැවරිණි. සියලු කාර්යයන් පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව , ශ්‍රී දළඳා මාලිගාව,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මහනුවර මහා නගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා මහනුවර පොලිස් ස්ථානය , තලාතුඔය ශ්‍රී ලංකා නාවික හමුදා අනු ඛණ්ඩය, කඳුරට එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාව විසින් සිදු කරනු ලැබීමට නියමිත ය. ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඩබ්ලිව් එස්. බණ්ඩාරනායක මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේ ය. එසේම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි , පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජේ.බී. හේරත් යන මහත්ම මහත්මීහු ද, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද, ශ්‍රී ලංකා පොලිසියේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ. මෙම මූලික සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ මීළඟ සාකච්ඡාව නුදුරු දිනක දී පැවැත්වෙනු ඇත.

ලාංකේය දරුවන්ට ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම් අවස්ථා පිළිබද දැනුවත් කෙරේ.

ලාංකේය දරුවන්ට ඉන්දියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන වල ඉගෙනුම් අවස්ථා පිළිබද දැනුවත් කෙරේ. ඉන්දියානු රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් වන ‘Study in India’ වැඩසටහන පිලිබදව ලාංකික දරුවන් දැනුවත් කිරීමේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් ‘Study in India expo 2023 නමින් පසුගිය 06 දා පෙරවරුවේ මහනුවර ග්‍රන්ඩ් කැන්ඩියන් හෝටලයේ දී පැවැත්විණ. ‘Study in India’ ව්‍යාපෘතිය හරහා විදේශ රටවල සිසුන්ට ඉන්දියාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිලිබදව මහනුවර දී සහ කොළඹ දී දැනුවත් කිරීමට සැලසුම් කොට ඇත. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් ප්‍රධානත්වයෙන් ආරම්භ‘ කෙරුණු මහනුවර වැඩසටහනට Study in India’ ව්‍යාපෘතිය සමග සම්බන්ධ වී සිටින, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන ලෙස සැලකෙන IIT Madras, IIT Ropar, සහ NIT Silchar වැනි ආයතන ඇතුළු ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන රැසක් එක්වීය. මෙම ප්‍රදර්ශනයේදී ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික සිසුන්ට හා දෙමාපියන්ට උදා ගත හැකි අවස්ථා පිලිබද දැනුවත් කෙරෙණි . ඒ ඒ ආයතන වලින් තම ආයතනයේ අධ්‍යයන අවස්ථා සහ ලබා දෙන විශේෂ සහායන් සහ සහනයන් ප්‍රතිලාභ සහ පහසුකම් පිලිබදව දැනුවත් වීමට මෙම ප්‍රදර්ශණය මහඟු අවස්ථාවක් විය. ප්‍රදර්ශණය ඛාණ්ඩ දෙකක් යටතේ පැවැත්වූ අතර එක් පාර්ශවයක් ලෙස ජාත්‍යන්තර IB සහ බ්‍රිතාන්‍ය විෂය මාලාවන් යටතේ ඉගැන්වීම් සිදුකරන, ඉන්දියාවේ ප්‍රමුඛතම නේවාසික පාසල් 8 ක සහභාගිත්වයෙන් යුක්ත විය . මෙම පාසල් සඳහා 3 ශ්‍රේණියේ සිට ඉහළට සිසුන් ඇතුළත් කර ගැනෙන අතර එම පාසල් බැංගලෝර්, හයිද්‍රාබාද්, මුසූරි සහ දෙහ්රාදූන් යන ප්‍රදේශ වල පිහිටි පආල් වේ. මේ සියලුම පාසල් විශාල භූමිභාගයන්හි පිහිටා ඇති අතර , අති-නවීන පහසුකම් සහිත, ඉහළම තලයේ අධ්‍යාපනයකට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට ද අවස්ථාව සලසා දෙන පාසල් වේ . එමෙන්ම විදේශීය සිසුන්ට හොඳින් ගැළපෙන සුහදශීලී හා ආරක්‍ෂිත පරිසරයක් මෙම පාසල් හා අධ්‍යාපන ආයතන තුළ පවත්වාගෙන යනු ලබයි. චෙන්නායි, වෙල්ලෝර්, බැංගලෝර්, හයිද්‍රාබාද්, පූනේ, දිල්ලි සහ භූබනේශ්වර් වැනි ප්‍රදේශ වල පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30 කට අධික සංඛ්‍යාවක්ද මෙම ප්‍රදර්ශනය සමග එක්ව සිටී. NAAC සහතිකකරණය හිමි මෙම විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන NIRF සහ QS මගින්ද ශ්‍රේණිගත කර තිබේ. ශ්‍රී ලාංකික සිසුන්ට මෙම ආයතන වලදී ඉංජිනේරුකරණය, විද්‍යාව, කළමනාකරණය සහ ලිබරල් අධ්‍යාපනය වැනි විෂය ක්ෂේත්‍ර යටතේ ප්‍රථම උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමට අවස්ථාව හිමිවනු ඇති අතර, සුදුසුකම් සපුරන සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල වල ශිෂ්‍යත්ව හිමිකර ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත. ප්‍රදර්ශනයට සමගාමිව සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන්, ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන විශේෂඥයන් සහ විද්වතුන් සහභාගී වන සම්මන්ත්‍රණ මාලාවක්ද ක්‍රියාත්මක විය . ‘ජාත්‍යන්තර නේවාසික පාසල්: ඔබේ දරුවාගේ අනාගතය හැඩගැස්වීම’ යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණ පැවැත්විණි. . මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ගොඩගම ශ්‍රී මංගල ස්වාමින් වහන්සේ සහ ඉන්දීය සහකාර මහා කොමසාරිස් ආචාර්ය අතිරා , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල යන මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සහ අධ්‍යයන අපේක්ෂිත දරුවන් සහ දෙමව්පියන් මෙම අවස්ථාවට එක්විය.

EDEX EXPO 2023 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ

නූතන තත්ත්වයනට ගැලපෙන තරුණ වෘත්තිකයන් බිහිකරලීමට අවශ්‍ය පසුබිම අන්තර්ජාතික වශයෙන් සහතික කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරුණ ප්‍රවිෂ්ටය ඉලක්ක කරගත් EDEX EXPO 2023 අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියා පොළ පසුගිය (04) පෙරවරුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ඉහළ මහලේ දී ආරම්භ කෙරිණි. සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයන් වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හා මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ය. EDEX සභාපති මහින්ද ගලගෙදර මහතා ප්‍රමුඛ එහි නිලධාරීන් පිරිසක් ද, විදේශ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක නියෝජිතයන් පිරිසක් ද, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රදර්ශනය අදත්, හෙටත් පැවැත්වෙනු ඇත.

ශ්‍රී විජයසුන්දරාරාමයේ -ගුන්නෑපාන පන්සලේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කොට මහා සංඝරත්නය වෙත භාරදීම

මහනුවර අස්ගිරි මහා විහාරයට අයත් ශ්‍රී විජයසුන්දරාරාමයේ -ගුන්නෑපාන පන්සලේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කොට මහා සංඝරත්නය වෙත භාරදීම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ හා අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) පෙරවරුවේ සිදු කෙරිණි. මේ අවස්ථාවට ප්‍රධාන ගිහි ආරාධිතයා ලෙස සහභාගී වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා යි. පැවැති සංඝාවාසය අලුත්වැඩියා නො කොට ප්‍රතිසංස්කරණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේත්, ශ්‍රී ලංකා පොලිසියේත් සහය මෙහිදී ලැබුණු බව ද සඳහන් වේ. ඉංජිනේරුමය කාර්යයන් සඳහා උපදෙස් හා මඟ පෙන්වීම ලබා දී තිබුනේ මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා යි. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතාද, ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සතර දේවාල බස්නායක නිලමේවරු ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හා මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා ද, නාවික හා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මහනුවර පොලිස් ප්‍රධානීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook