මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටියේදී.

මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටියේදී. “රුදුරු වන මැද්දේ බිහිසුනු සටන් වැද දිනා දුන්නු දේශය පුද බිමකි අද සැනසෙන විටදී අප ලක්මව තුරුලේ හිද විහිදෙයි දසත සොයුරෙනි ඔබේ ගුණ සුවඳ” ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව පවත්වනු ලබන මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභය‍කෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මයිලපිටියේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී 29 දින පැවැත්විණ. රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රණවිරු සැමරුම් උත්සවයේ දී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දශක තුනක් පැවති යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් සර්ව ආගමික වතාවත් සිදුකොට පින් අනුමෝදන් කිරීම හා මියගිය රණවිරුවන් සිහිකිරීම, රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපාහාර දැක්වීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක,පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ තුෂාරි ජයසිංහ , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මධුපානි පියසේන, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය, මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්. බී. කොහොන, මධ්‍යම පළාත් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් නලින් බණ්ඩාරනායක , පල්ලේකැලේ සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් , ආරක්ෂක අංශ ප්‍රධානින්, ජාතික රණවිරු අධිකාරිය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී වුහ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී (28) දින පැවැත්විණ. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු සහ විසඳුම් සම්බන්ධයෙන් ද දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය , අධ්‍යාපනය , ජල සම්පාදනය , සෞබ්‍යය , ප්‍රවාහන කටයුතු , දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව මෙහිදී සාකච්ජා කෙරිණි.අකුරණ ප්‍රදේශයට වැසි සමයේදී බලපානු ලබන ගංවතුර තත්ත්වය සඳහා විසඳම් ලබා ගැනීම, පේරාදෙණිය ගන්නෝරුව මාර්ගය දෙපස අනවසර වෙළෙන්ඳන් ඉවත් කිරීම, දිස්ත්‍රික්කය සඳහා බලපෑ ඇති වන සත්ත්ව හානී අවම කර ගැනීම, මිනිපේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අලි වැට ඉදි කිරීම, කුණ්ඩසාලේ කසළ අංගණයේ ඉදි කිරීම, මහනුවර නගරයේ සංවර්ධන කටයුතු, යාචක ගැටළුව සහ උමං මාර්ග භාවිතය යන කරුණු සම්බන්ධයෙන් ද මෙහි දි සාකච්ඡාවට ලක්කෙරිණි.ඉදිරියේදී සිදුවිය හැකි ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ ග්‍රාමීය ඩෙංගු කමිටු බලාත්මක කරන බවත් ඉකුත් 2023 සහ 2024 වර්ෂ වලට සාපේක්ෂව මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ මන්දගාමී ස්වාභාවයක් නිරීක්ෂණය වන නමුත් ගතවූ ඉකුත් සතියේදී රෝගීන් හමුවීමේ යම් වර්ධනයක් දැකිය හැකි යැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි.මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, ඩෙංගු හා මී උණ රෝග සම්බන්ධයෙන් මහජනයා විමසිලිමත් විය යුතු යැයි ද දැනට එක් ඩෙංගු මරණයක් වාර්තාවී ඇති බව කී ඒ මහතා යටිනුවර කොට්ඨාශයෙන් රෝගීන් 22ක් ද මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගීන් 21ක් වාර්තා වී ඇතැයි පැවසුවේය.පළාත් පාලන ආයතන සභිකයන් පත්වූ පසු සෞඛ්‍ය අමාත්‍යංශය, මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පළාත් පාලන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ඒකාබද්ධව මෙම ග්‍රාමීය ඩෙංගු කමිටු බලාත්මක කරන බවත් ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.මෙම අවස්ථාව සදහා සෞබ්‍යය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි , ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

වත්තේගම කලාප ක්‍රීඩා සමස්ත ශුරතාවය වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහල හිමිකර ගනී.

වත්තේගම කලාප ක්‍රීඩා සමස්ත ශුරතාවය වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහල හිමිකර ගනී. ශ්‍රී ලංකා නාමය ඉහලට ඔසවා තබමින් ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ට දක්ෂතා දක්වන වත්තේගම අධ්‍යාපන කලාපයේ කලාප ක්‍රීඩා උළෙල හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී (27) පැවැත්විණ. මෙවර කලාප ක්‍රීඩා උළෙලේ බාලක හා බාලිකා ශුරතා ද්විත්වයම හිමිකර ගැනීමට වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහල සමත්විය. ශ්‍රී ලංකාවේ පිහිටි අධ්‍යාපන කලාප සියය අතරින් විශිෂ්ටතම පාසල් මලල ක්‍රීඩකයින් දැයට දායාද කළ මධ්‍යම පළාතේ වත්තේගම අධ්‍යාපන කලාපය ඉතිහාසයට එක් වනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවක් ඔලිම්පික් වරම් හිමිකරගත් ප්‍රථම හා එකම අධ්‍යාපන කලාපය ලෙසිනි. එම දක්ෂතාවයට හිමිකම් කියනු ලැබුවේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවය.මෙම ක්‍රීඩා උළෙල සදහා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ) සුසන්ත ප්‍රනාන්දු , මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ තරුෂි කරුණාරත්න, කලාපයේ විදුහල්පතිවරුන් , ගුරු උපදේශකවරුන් , ක්‍රීඩා උපදේශකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා නිල ලාංජන පැළඳවේ...

ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා නිල ලාංජන පැළඳවේ. නුවරඑළිය අධ්‍යාපන කාලාපයේ ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා නිල ලාංජන පැළඳවීම (Wave On Air 2025) එම විද්‍යලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා සිදු කෙරිණි. මෙහිදි ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ 2025 වර්ෂ්‍ය සඳහා පත්කළ මාධ්‍ය ක්‍රියාකාරීන් 37 ක් සඳහා නිල ලාංජන පැළඳවිම සිදු විණි. මෙම අවස්ථාව වෙනුවෙන් නුවරඑළිය කලාපයේ ආරාධිත පාසල් දහතුනක සිසු දරුවන් පිරිසක් ද එක් වූහ. මෙම අවස්ථාව සඳහා නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සන්නිවේදන හා මාධ්‍ය විෂය අධ්‍යක්ෂ එස්.සී.එව්. සරත්චන්ද්‍ර, මධ්‍යම පළාත් මධ්‍ය ඒකකයේ ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත, ගාමණි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, නිමල් කරුණාදාස යන මහත්වරුන් ගුරු භවතුන් සිසු දරුවන් පිරිසක් එක් වුහ.

ජාතික මුල් ළමාවිය විෂය රාමුවට අදාළව මධ්‍යම හා උෳව පළාත තුළ වැඩසටහන් යාවත්කාලින කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්.

ජාතික මුල් ළමාවිය විෂය රාමුවට අදාළව මධ්‍යම හා උෳව පළාත තුළ වැඩසටහන් යාවත්කාලින කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් (23) නවයාලතැන්න පළාත් පාලන පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණ. මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත හා උෳව පළාත නියෝජනය කරමින් පුහුණුකරුවන් 45 දෙනෙකු සහභාගී වුහ. මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය හා ප්‍රාථමික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කුමුදුමලී ද සිල්වා සහ කථිකාචාර්ය සකුන්තලා රණසිංහ යන මහත්මීන් විසින් ලබාදෙන ලදී. ජාතික විෂමාලා රාමුවක පිහිටා සියළු පළාත් තුළ පුර්ව ළමාවිය සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම පිළිබදව දැනුවත් කිරීම , විෂය මාලා රාමුව , භාවිතාවන ජාතික නිර්ණායක පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන් සදහා පුර්ව සුදානම්වීම වෙනුවෙන් දෙදින වැඩසටහනක් ලෙස මෙය සංවිධානය කොට පැවතුනි. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ.ගුණතිලක , උෳව පළාත් මුල් ළමාවිය අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රසිරි දිසානායක , යුනිසෙෆ් ආයතනයේ ව්‍යාපෘති නිලධාරි ශෂිකලා රත්නායක යන මහත්ම මහත්මීන් , ගුරු උපදේශකවරුන් , පුර්ව ළමාවිය සංවර්ධන උපදේශකවරුන් , මධ්‍යම පළාත් පුර්ව ළමාවිය සංවර්ධන ඒකකයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook