එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී දළදා මාළිගාව වැදපුදා ගනී.

එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී දළදා මාළිගාව වැදපුදා ගනී. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීම මෙරට පැමිණි තෙවැනි චාල්ස් රජුගේ නැගණිය වන බ්‍රිතාන්‍ය රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැද පුදාගැනීම සදහා පසුගිය (11) දින මහනුවරට පැමිණියෙය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ඇතුළු පිරිස විසින් මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී ඈන් කුමරිය ඇතුළු දුත පිරිස පිළිගැනිම සිදු වූ අතර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ බලන දියවඩන නිලමේ මහින්ද දැල මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේදී ඔවුන් පිළිගනිම සිදු කරන ලදී. ඉන් අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් ද තැබීය.

ගලේවෙල සෞඛ්‍ය මධ්‍යස්ථානය හා ඉඩම පිළිබඳව දීර්ඝ කාලීනව පැවති ගැටළුව නිරාකරණය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා මැදිහත් වෙයි.

ගලේවෙල ප්‍රාදේශීය රෝහල යටතේ පරිපාලනය වන ගලේවෙල සෞඛ්‍ය මධ්‍යස්ථානය හා ඉඩම පිළිබඳව දීර්ඝ කාලීනව පැවති ගැටළුව නිරාකරණය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා මැදිහත් වෙයි. දැනට ගලේවෙල සෞඛ්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යන ඉඩම ඒ ආසන්නයේ පිහිටි ධර්මදුත විහාරස්ථානයේ සාසනික කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සදහා අවශ්‍යතාවය දන්වමින් විහාරාධිපති හිමියන් විසින් විටින් විට විවිධ ආයතන වෙත දන්වා ඇති අතර , මෙම ස්ථානයේ ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට අවශ්‍ය පසුබිම උදාකරමින් සෞඛ්‍ය මධ්‍යස්ථානය විකල්ප ස්ථානයක් වෙත ගෙන යාමට මධ්‍යම පළාත් ආණඩුකාරවර ගමගේ මහතා පියවර ගනු ලැබුවේ පසුගිය 10 වන දින ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා කරුණු දක්වමින් පෙන්වාදී දුන්නේ පවතින තත්ත්වය අනුව ඉදිරි සංවර්ධන කටයුතුවලට හිතකරවන ලෙස සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදිකරවා එමගින් වඩා පලදායී සේවයක් ප්‍රදේශයට ලබාදීමට හැකිවන ලෙස කටයුතු යෙදීම කාලීන අවශ්‍ යතාවයක් වන බවයි. ඒ සඳහා භූමියක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එහි නීතිමය කටයුතු සනාථ කර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය මධ්‍යස්ථානය හා සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පියවර ගැනීම උචිත බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද විරකෝන් මහතා පෙන්වා දෙන ලදී. මෙහිදී ආණ්ඩුකාරවර ගමගේ මහතා අදාළ සියල්ල සියලු කරුණු සලකා බලා වඩා ජනතා හිතවාදී සෞඛ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීමට පසුබිම උදාකර ගැනීම කාලෝචිත බවත්, ඒ සඳහා පවතින නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට මෙහිදී අදාළ නිලධාරීන්හට උපදෙස් ලබාදෙන ලදී. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය , මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද විරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

තරගකාරී අධ්‍යාපන රටාව තුළ ගුණ දහම් පිරි සමාජය වියැකිලා - මධ්‍යම ආණ්ඩුකාරවර.

තරගකාරී අධ්‍යාපන රටාව තුළ ගුණ දහම් පිරි සමාජය වියැකිලා - මධ්‍යම ආණ්ඩුකාරවර. අද අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වරදක් අපි දකිනවා. තරගකාරී අධ්‍යාපන රටාව තුළ ගුණ දහම් පිරි සමාජය වියැකිලා. අධ්‍යාපනයෙන් යහපත් දරුවකු සමාජගත වූවා නම් අද මේ විදිහට රට මුහුණදෙන අභියෝග හමුවේ රට හැර යන පිරිසක් බිහිවෙන්නේ නෑ. මේ තත්ත්වය වෙනස් කළ යුතු කාලය එළඹිලා. අද අපට ඉන්නේ තමන්ගේම පන්තියේ දරුවන්ට ටියුෂන් දෙන ගුරුවරුන් .මේ තත්ත්වය වෙනස් කරන්න මධ්‍යම පළාත තුළ නව අණ පනත් නීති රීති ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. එවැනි පිරිස් පනස් දෙදෙනෙකු හට මේ වන විට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. දුෂ්කරතා අඩු පාඩු මධ්‍යයේ දරුවන් හට නිසිමග පෙන්වීම් ලබාදී ජයග්‍රහණ වෙත දරු පරපුර යොමු කිරීම අති විශිෂ්ට කාර්යයක්, ගුරු සේවයේ සැබෑ අර්ථවත් බවයි ඉන් ඔප්නැන්වෙන්නේ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ වත්තේගම අධ්‍යාපන කලාපයේ හුළුගඟ මුස්ලිම් විද්‍යාලයේ 10 දින පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මෙහිදී පාසලේ ප්‍රාථමික හා ද්වීතීක අංශ වල විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමට ලක් කළ අතර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් විශිෂ්ට ඇගයීමකට ලක් කරමින් සහතික හා පදක්කම් ලබාදීම සිදු කරන ලදී. 1961 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම පාසල අඩු පහසුකම් මධ්‍යයේ වුවද අධ්‍ යාපනයේ සාධනය වෙනුවෙන් කැපවීමෙන් ඉටුකළ සේවාවන් විශිෂ්ට ඇගයීමට ලක් කරමින් ඒ සඳහා දායකත්වය ලබා දෙන ගුරුවරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරින. විද්‍යාලයේ විදුහල්පති ඒ. එෆ්. එම්. රිස්වාන් මහතාගේ උපදෙස් මත සංවිධානය වූ මෙම අවස්ථාව සඳහා හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මුතාලිෆ් හාජියාර්, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, නි�යෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හාසිම් මවුලවි, පන්විල කොට්ඨාශය අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ 31 වන වාර්ෂික සමුළුව.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ 31 වන වාර්ෂික සමුළුව. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ 31 වන වාර්ෂික මහා සමුළුව පසුගියදා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතගේ ප්‍රධානත්වයෙන් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ සුභසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් වෙනුවෙන් වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදුකෙරිණි. එසේම 2022 හා 2023 වර්ෂයන්හි ගුණාත්මක භාවයෙන් යුතු වාරිමාර්ග, මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් ද සිදු කෙරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිකිරීම අංශයේ දායකත්වය හා වැදගත්කම පිළිබඳව ඇගයීමට ලක් කළේය. රටේ සංවර්ධනය වෙනුවෙන් මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ කැපවීම ඉතා වැදගත් සාධකයක් බවද අවධාරණය කළේය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා ,මධ්‍යම පළාත් ශාඛාවේ සභාපති එම්.ඩබ්.ඩී.වලිසුන්දර මහතා ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් දිසානායක මහතා හා මධ්‍යම පළාත් ඉදිකිරීම් සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී.

විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී. සරම්ප එන්නත ලබා ගැනීමට නොහැකි වූ මහනුවර දිස්ත්‍රික්කයේ දරුදැරියන් සඳහා මෙම මස තුළදී යළි සායන කිහිපයක් පැවැත්විමට තීරණය කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත මාසරච්චි මහතා පවසයි. උණ ඇතුලු විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකිවූ පිරිස් වෙනුවෙන් මෙම මස 13, 20 සහ 27 යන දිනවලදී මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී පස්වරු 03.00ට එන්නත ලබා දෙන බව වෛද්‍යවරයා කීවේය. මහනුවර දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායමෙන් 90.4%ක් එන්නත ලබා ගත් බව කී ඒ මහතා එය දෙවැනි වන්නේ යාපනය දිස්ත්‍රික්කයට පමණක් යැයි ද ප්‍රකාශ කළේය. 3550කු එන්නත ලබා ගත් බව කී ඔහු 75 දෙනෙකු එන්නත ප්‍රතික්ෂේප කළ බව ද කීවේය. ආගමික විශ්වාස ඇතුලු විවිධ හේතුමත එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් පවා සිය දරුවන්ට එන්නත ලබාදීමට උනන්දුවීම කැපී පෙනෙන කරුණක් යැයි ද මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත සමාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook