සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කෙරේ.

මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කෙරේ. මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ තනතුර සදහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණීයේ නිලධාරිණියක් වන ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පත් කර ඇත. නව අධ්‍යක්ෂකවරිය වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) සිදුවිය. පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්විය.

මහනුවර නගරය පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීමට කටයුතු රැසක්.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශයන් වලක්වා ගැනීම සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ මහනුවර නගරය පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීමට කටයුතු රැසක් ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් කාලීනව ඉහළ යන පරිසර හානිය වලක්වාගැනීමේ ක්‍රියාවලියට දායකතාවය ලබාදෙමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත ලොවක් ගොඩනැගීමේ අරමුණින් අවිධිමත් ලෙස පරිසරයට මුදාහරින පොලිතින් හා ප්ලාස්ටික් ඒකරාශී කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් මහනුවර දුම්රිය ස්ථානය ප්‍රමුඛ කර ගනිමින් ඉකුත්දා (15) පැවැත්විණ. මෙහිදී ජනතාව දැනුවත් කිරීම , පරිසරයට මුදාහල අපද්‍රව්‍ය එක්රැස් කිරීම් සිදුකරන ලද අතර , නෝර්වේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දායකත්වය මෙම වැඩසටහන වෙත ලබාදීම විශේෂත්වයක් විය. මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සදහා සීරෝ ප්ලාස්ටික් සංවිධානය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් සහයෝගය දක්වයි.

ප්‍රතිපාදන වලින් ජාතික නිර්ණායක වලට අනුව 50% ක් මුදලක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා යොදා ගැනීමට අපේක්ෂිතය - මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (16) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ජනතාව අමාරුවෙන් ගෙවන බදු මුදල් සියළු සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන්නේ. ඒ නිසා වඩා ප්‍රතිපලදායි අවශ්‍යතාවයන් ප්‍රමුඛව හදුනාගත යුතුයි. මිලියන 11750 ක මුදලක් මෙවර සමස්ත ලංකාවේම සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවෙනවා. ඒ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා. ලැබෙන මුදල් අපතේ නොයවා ජනතාව වෙනුවෙන් නිලධාරින් ක්‍රියාකිරීම මේ මොහොතේ රටට අවශ්‍ය , රට හදන මාවතට හැමෝම දායක වෙන්න යැයි ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා එහිදී අදහස් දක්වමින් පැවසිය. මෙහිදී 2023 වර්ෂයේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධනය ව්‍යාපෘති හා එහි ප්‍රගතිය විමසා බැලීම සිදුවූ අතර 2024 වර්ෂයේ දී දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබදව කරුණු සාකච්ජා කෙරින. 2024 වර්ෂය සදහා මාතලේ දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 287 ක මුදලක් ලැබීමට නියමිත අතර , දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා හදුනාගනිමින් ජුලි මස 31 වන විට සියලු කටයුතු අවසන් කිරීමට ද නියමිතය. ජනගහනය ,ධරිද්‍රතාවය , අතරමැද නවතා පවතින ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාව ලබාදීමට ද සැලසුම් කොට ඇති අතර , ප්‍රාදේශීය විෂමතාවයන් අවම කර ගැනීම මෙන්ම ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වඩා ශාඛ්‍යතවයෙන් යුක්ත තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ලැබෙන ප්‍රතිපාදන වලින් ජාතික නිර්ණායක වලට අනුව 50% ක් මුදලක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා යොදා ගැනීමට අපේක්ෂිතය. මාතලේ දිස්ත්‍රික්කය තුළ වාරිමාර්ග යෝජනා හා අටක් ක්‍රියාත්මක කිරීමට ද , කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ අතර මග නවතා ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක ද, වැඩ අවසන් කිරීමට නියමිතය. මාතලේට නව ජල සැපයුම් 12000ක් මේ වර්ෂයේ ලබාදීමට ද සැලසුම් කර ඇති අතර , දඹුල්ල පුජා භුමිය සදහා ඉඩම් පවරා ගැනීමේ දී පැවති ගැටළු නිරාකරණය, රිවස්ටන් සංචාරක කලාපයේ ප්‍රමිතිය තහවුරු කිරීම සදහා නව යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීම , රිලවුන්ගෙන් සිදුවන වගාහානි වලක්වා ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට සැලසුම් කොට ඇත. ඒ අනුව ගැහැණු හා පිරිමි සතුන් වන්දිකරණයට ලක් කිරීමට නියමිත අතර මේ සදහා නියමු ව්‍යාපෘතියේ දී රංචු 05ක් සතුන් 150 දෙනෙකු යොදා ගැනීමට සැලසුම කොට පවතීන අතර වසර දෙකකින් පසුව එහි ප්‍රතිපල විමර්ශනය කෙරේ. මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් සකස් කරන ලද කෘෂිකර්ම සැලස්ම පිළිබදව ද මෙහිදී කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී. දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය ඉහල දැමීම වෙනුවෙන් පාසල් 220ක් සදහා බිත්තර ලබාදීම වෙනුවෙන් කුකුළු පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත අතර මේ සදහා කුකුළු පැටවුන් 8200 ලබාදීමට අපේක්ෂිතය. පසුගිය අධික වර්ෂාව සමග මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 330ක් ආපදා තත්වයට ලක්ව ඇති බව ද අනාවරණය වූ අතර ඉදිරියේදී ඒකාබද්ධ සැලැස්මකට අනුව පාසල් නවීකරණ කටයුතු සිදු කිරීමට මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලෙකම් ඩබ්ලිව්.දයානන්ද , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මාර්ග සංවර්ධන අමාතයාංශයේ ලේකම් මධුපානි පියසේන ,සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහතමින්, දෙපාර්තමේන්තු ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානින්, ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී වුහ.

උඩගම මහා විද්‍යාලය ආරම්භ කොට වසර 90ක් . දක්ෂතා හා විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූවන් ඇගයේ.

උඩගම මහා විද්‍යාලය ආරම්භ කොට වසර 90ක් .. දක්ෂතා හා විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූවන් ඇගයේ...... වත්තේගම අධ්‍යාපන කලාපයේ උඩගම මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය (05) වන දා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආදි විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන්ගේ සහභාගිත්වයෙන් මැණික්හින්න සමූපකාර ශාලාවේ දී පැවැත්විණ. එම විද්‍යාලය ආරම්භ කොට වසර 90ක් පිරිම නිමිත්තෙන් හා එම විද්‍යාලය, මහා විද්‍යාලයක් වී වසර 50ක් පිරිම නිමිත්තෙන් ද පසුගිය වසර හතරක කාලය තුළ විද්‍යාලයේ විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූ සිසුන් අගයනු පිණිස මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කොට තිබිණ. මෙහිදී විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් අගයමින් සහතිකපත් පිරිනැමුන අතර ‘’ඒ’’ සමාර්ථ තුනක් ලබාගනිමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාල වරම් දිනාගත් සිසුන් ද, අ.පො.ස. සා.පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් ද, ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් ද, එම සිසුන්ට මග පෙන් වූ, විද්‍යාලයේ සියලු ආචාර්ය මණ්ඩලය, සහය ලබා දෙන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා විෂය සමගාමී පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක්විය.

මධ්‍යම පළාත් තෛපොංගල් දින සැමරුම ආණ්ඩුකාර කාර්යාලයේදී.

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන සශ්‍රීකත්වය ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ටත්, මවු පොළවටත් , වර්ෂාවටත් , ගව මහේශාදීන්ටත් කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය හෙවත් නව අවුරුදු උත්සවය වෙනුවෙන් සැපවත්, යහපත් අලුත් හෙටක් ප්‍රර්ථනා කරමු. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ අදහසක් අනුව යමින් පළමු වරට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ තෛපොංගල් උත්සවයක් 15වැනි දින සංවිධානය කොට තිබිණි. හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව යමින් ගොවිතැන් කටයුතු සඳහා උදව් කල පුංචි කුරුල්ලන් කුඩා කෘමි සතුන් වැනි සතුන්ගේ ආහාර සඳහා මෙම කෝලම් රටා පුජා කරමින් එහි ප්‍රධාන අර්ථය දක්වමින් කෝලම් දැමීම වර්ණ ගැන්වූ පොල් කුඩු ධාන්‍ය කුඩු වලින් සිදු කල අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිල නිවස ඉදිරියේ ධාන්‍ය වර්ග සහ හකුරු පැණි යන ආදී රස ද්‍රව්‍යද එකතු කරමින් සකසා ගන්නා එක් ස්ථානයක පොංගල් පිසීම සිදු කර ආගමික වතාවත් රැසක් ඉටු කරමින් පැවති මෙම තෛපොංගල් උත්සවය වඩාත් අර්ථවත් ලෙසින් සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. මෙවැනි උත්සව මගින් ආගමික හා සංස්කෘතිමය බැදියාව වර්ධනය කිරීමට ඉවහල් වන බව මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේය. මේ සදහා මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය , අමාත්‍යංශ ලේකම් වරුන් ඇතුළු පළාත් සභා, නගර සභා සේවක මහත්ම මහත්මීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook