පේෂ කර්මාන්තයේ ප්‍රගතිය සතුටුදායකයි.

පේෂ කර්මාන්තයේ ප්‍රගතිය සතුටුදායකයි. දේශීය කර්මාන්ත නඟා සිටුවීම මේ යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවත්, පේෂකර්මාන්තයට මෙහිලා මුල්තැනක් හිමිවන බවත්, පසුගිය සමයේ පළාතේ පේෂකර්මාන්තයේ ප්‍රගතිය සතුටුදායක බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. එසේම පෙරදී මෙන් නොව මේ වන විට උගත් හා කාර්යශූර තරුණ තරුණියන් පේෂකර්මාන්තයට එක්වෙමින් සිටින බවත්, එය අතිශයින්ම යහපත් ප්‍රවණතාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේ මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව ‘පෙහෙකම් ප්‍රභා’ මැයෙන් වාර්ෂිකව පවත්වන පෙෂකර්මාන්තයේ නිරත පිරිස් ඇගැයීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. ඊයේ (24) මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි පැවති මේ උළෙල සංවිධානය කළේ පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා මහත්මිය ප්‍රමුඛ පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයයි. පළාත් පේෂකර්මාන්ත තරග ජයගත් පේෂකාර්මිකාවන් ඇතුළු පිරිස් වෙත සහතික පත් හා මූල්‍ය ත්‍යාග පිරිනැමීමටද දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබිණි. පළාතේ ජ්‍යෙෂ්ඨතම පේෂකාර්මිකාවන් ඇගැයීමේ හා ඉහළ ආදායමක් පළාත් සභාව වෙත ලබා දුන් පේෂකර්මාන්ත මධ්‍යස්ථාන ඇගයීමේ අවස්ථාවටද ආණ්ඩුකාර ගමගේ මහතා එක්ව සිටියේය. පළාතේ පේෂකර්මාන්තයේ අනන්‍යතාව හා විශිෂ්ටත්වය ගෙන හැර පෑ විලාසිතා දැක්මක්ද පැවැත්විණි. උළෙලට සමගාමීව පළාතේ පේෂකර්මාන්ත මධ්‍යස්ථාන විසින් නිෂ්පාදනය කරන ලද රෙදිපිළි අලෙවියක්ද ආරම්භ කෙරිණ. මෙය දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය. ගමගේ මැතිනියද, පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද උළෙල හා එක්ව සිටියහ.

තිරසාර සංචාරක ඉගෙනුම් ප්‍රදර්ශනයක්.

සංචාරක කර්මාන්තයේ නියුක්ත ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (MSMES) සවිබල ගැන්වීමේ අරමුණින් තිරසාර සංචාරක ඉගෙනුම් ප්‍රදර්ශනයක්. සංචාරක කර්මාන්තයේ නියුක්ත ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (MSMES) සවිබල ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව , USAID සහ IPOP ආයතන එක්ව සංවිධානය කරන ලද තිරසාර සංචාරක ඉගෙනුම් ප්‍රදර්ශනයක් 22 වන දින මහනුවර සුවිස් (Suisse) හෝටලයේ හිදී පැවැත්විණ. මෙම ප්‍රදර්ශනයේ දී ඩිජිටල් සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම, මෙම ක්ෂේත්‍රයට අදාළ සුවිශේෂී අත්දැකීම් හුවමාරු කිරීම, සංචාරක ප්‍රවණතා අවබෝධ කර ගැනීම සහ සංචාරක අපේක්ෂාවන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. මෙම මධ්‍යම පළාත් වැඩසටහන මහනුවර , අනුරාධපුර, දඹුල්ල, සීගිරිය, හබරණ යන ප්‍රදේශවල ව්‍යවසායකයින්ගේ සහභාගීතත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්.

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්. රාජ්‍ය අංශයේ තනතුරු සදහා උසස්වීම් ලබා දීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොව කාර්යශූරත්වය ද සැලකිල්ලට ගත යුතුයි. අපේ රටේ රාජ්‍ය අංශය තුළ පවතින කාර්ය සාධන ඇගයීම් ක්‍රමවේදයන් අද දුර්වල වෙලා. කාලීනව මේවා වෙනස් විය යුතුයි. එසේම පුද්ගල බද්ධ තාවයට එහා ගොස් සියලු දෙනා එක්ව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම වෘත්තීයවේදීන්ගේ වගකීමක් වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ 21 දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මධ්‍යම පළාත තුළ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පවතින ගැටලුව මෙහිදී සාකච්ඡාවට බඳුන් කළ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණිය පිළිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන්, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා සංගමයේ නිලධාරීන්, මධ්‍යම පළාත් ඉංජිනේරු සේවයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුවක්. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට් (H.E. Siri Walt) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (22) පැවැත්විය. මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරිය අතර සංචාරක, සංස්කෘතික ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරුකරගැනීම සිදු වු අතර, මෙම සාකච්ඡාව සදහා මෙම සාකච්ඡාව අවසානයේ දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන සබඳතා) ජස්ටින් බොයිලට් (Justine Boilat), පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සංචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සන්නිවේදණ සහ විශ්ලේෂණ නිලධාරී කනිෂ්ක රත්නප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය

මැදරට කලා උළෙල මෙවරත්.

මැදරට කලා උළෙල මෙවරත්. වසර දහස් ගණනක දිගු ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාව සතු සංස්කෘතික අනන්‍යතාව සුවිශේෂ වන බවත්, වාර්ෂිකව හෝ පැවැත්වෙන කලා උළෙල ආදියෙන් එහි වටිනාකම ඔප් නැංවෙන බවත්, මෙහිලා පෙරමුණ ගන්නා කලාකරුවනට අප ණය ගැති වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ පසුගිය (23) පල්ලෙකැලේ,මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති 2023 මධ්‍යම පළාත් කලා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව සංවිධානය කළ මේ උළෙල සඳහා පළාතේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ කලා රසවින්දනයට පිරිසිදු හදවතක් මහෝපකාරී වන බවය. ජීවිතයට සතුට හා සොම්නස ලඟා කරලීමට කලාව සතු සමත්කම සම්බන්ධයෙන්ද ඔහු සිය අවධානය යොමු කර සිටියේය. ‘ගීතයේ සමාජ මෙහෙවර’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වූයේ පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( සැලසුම්) ප්‍රකට සන්නිවේදක සමිත දුනුකේපොත මහතායි. ජීවිතය වෙනස් කරලීමට ගීත සතු හැකියාව පිළිබඳ උදාහරණ සහිතව කරුණු පැහැදිලි කළ ඔහු උසස් රසවින්දනයකින් යුතු තරුණ පරපුරක් රටේ අනාගත යහපත තකා ගොඩ නංවාලීමේ වැදගත්කමද පහදා දුන්නේය. කලා උළෙල වෙනුවෙන් සංවිධානය කළ විවෘත හා පාසල් මට්ටමේ නිර්මාණ තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමටද පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා සංස්කරණය කළ ‘පූජනීය දළඳා සංස්කෘතිය’ ශාස්ත්‍රීය සංග්‍රහය එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. නර්තනාංග කිහිපයකින්ම උළෙල වර්ණවත් විය. පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් ප්‍රධාන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුද, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුද, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook