මහනුවර ජාතික රෝහලේ ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්.

මහනුවර ජාතික රෝහලේ ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්. මහනුවර ජාතික රෝහලේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (21) පැවැත්විය. අක්කර 54.8 ක භුමි ප්‍රමාණයකින් සමන්විත මහනුවර ජාතික රෝහලට අයත් භූමි ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ආදිය පිලිබඳව පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ රෝහලක් සදහා භූමියක් වෙන්කරනු ලබන්නේ දීර්ඝ කාලීන සැලසුම් අනුකූලව බවත්, එම භූමිය අනවසර ලෙස අත්පත් කරගැනීම ගැටලු සහගත බවයි. එසේම එම භුමි ප්‍රදේශයේ පවතින ගැටලුකාරී තත්වයන්ට අදාලව පියවර ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කෙරිණි. මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජ්‍යෙෂ්ඨ උපදේශක කහගල සීලානන්ද ස්වාමීන්වහන්සේ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්,පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු , සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, මහනුවර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .

ජාත්‍යන්තර‍ යෝගා දින සැමරුමට සමගාමී යෝගා වැඩසටහනක් මහනුවර සහස් උයනේදී .

ජාත්‍යන්තර‍ යෝගා දින සැමරුමට සමගාමී යෝගා වැඩසටහනක් මහනුවර සහස් උයනේදී . ජාත්‍යන්තර‍ යෝගා දින සැමරුමට සමගාමී යෝගා වැඩසටහනක් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය එස්.ආත්රා (Dr. S Athira) මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) පැවැත්විය. මහනුවර ඉන්දීය සහකාර මහා කොමසාරිස් වෛද්‍ය අතීරා මහත්මියගේ උපදෙස් පරිදි සහකාර මහා කොමසාරිස් කාර්යාලය, මධ්‍යම පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් පැවැත්වූ මෙහි සමාරම්භක උත්සවයේ දී පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා අදහස් දක්වමින් සදහන් කළේ කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් නිරෝගී පුද්ගලයෙකු නිර්මාණය කිරීමෙහි ලා යෝගා අභ්‍යාස ඉතා ප්‍රයෝජනවත් වන බවත්, මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය ඇතුලු කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළ කර සිටින බවත් ය. 2014 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය.දැනට ලෝකයේ රටවල් 177ක් පමණ මේ දිනය සමරන අතර ජාත්‍යන්තර යෝග දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කළ, ඉන්දියානු වත්මන් අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විසිනි. ඉන්දියාවේ වඩාත්ම පුරාණ සංස්කෘතික උරුමයක් ලෙස හැඳින්වෙන යෝග ක්‍රමය සදාචාරාත්මක, මානසික , මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාකිරීමේ ව්‍යායාමය ක්‍රමයක් ලෙසද සැලකේ. යෝග යනු,පැරණි ඉන්දියානු දර්ශනයේ වසර 5000 ක ඉතිහාසයක් ඇති මනස සහ ශරීරය පුහුණු කිරීමේ ප්‍රශස්ත ක්‍රමවේදයකි. විවිධ ශෛලීන් ,ශාරීරික ඉරියව්, හුස්ම ගැනීමේ ක්‍රම, සහ භාවනා ක්‍රම, විවේකය ඒකාබද්ධ කෙරෙන මෙම අභ්‍යාසයන් නූතන ලෝකයේ දකුණු ආසියානු යෝග කලාව ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව පවතී. ප්‍රායෝගික යෝග අභ්‍යාස ඇතුලත් ඉදිරිපත් කිරීම් සහිත මෙම වැඩසටනට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර දිස්ත්‍රීක් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා පාසල් ළමුන් පිරිසක් ද සහභාගිවූහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර , අරුප්පොල ධර්මාශෝක විද්‍යාල පරිශ්‍රය නිරීක්ෂණය කෙරේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර , අරුප්පොල ධර්මාශෝක මාවතේ 111 පටුමගේ පිහිටි ධර්මාශෝක විද්‍යාලය හා විද්‍යාල පරිශ්‍රය නිරීක්ෂණය කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ ධර්මාශෝක විද්‍යාලය වෙත පැමිණියේ පළාතේ ඌන උපයෝජිත පාසල් පිළිබඳ කෙරෙන විමර්ශනයට අදාළ ව ය. මෙහි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 26කි. ගුරුවරුන් සංඛ්‍යාව 14 කි. පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. එකොලොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ එක් සිසුවකු පමණි. පාසලේ ගුරුවරයකු භාවිත කරන එක් නිල නිවෙසකි. පාසල් පරිශ්‍රයේ භූමි ප්‍රමාණය අක්කර දෙකක් පමණ ය. වැඩ බලන විදුහල්පති තනතුරේ කටයුතු කරන්නේ ජයන්ත අධිකාරි මහතා යි. විද්‍යාලය සතු සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය නො ගන්නා බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආණ්ඩුකාර ගමගේ මහතා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාට හා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාට උපදෙස් ලබා දුන්නේ මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් නො පමාව අනුගමනය කරන ලෙස ය. මෙම නිරීක්ෂණ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි.අන්දරගේ යන මහත්මීන් ද එක්ව සිටියහ.

රාජ්‍ය දේපළ රැක ගැනීම පොලිසියේ වගකීමක් ,සෙසු රාජ්‍ය ආයතන හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ඒ සඳහා මැදහත් විය යුතුයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා

රාජ්‍ය දේපළ රැක ගැනීම පොලිසියේ වගකීමක් බවත්, සෙසු රාජ්‍ය ආයතන හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ඒ සඳහා මැදහත් විය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ පැවසුවේ පසුගිය දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ සම සභාපතිවරයා ලෙස සහභාගී වෙමින් මහනුවර ජාතික රෝහලට අයත් ගසක් සම්බන්ධයෙන් මතුවූ විවාදාත්මක තත්ත්වයක් පිළිබඳ අදහස් දක්වමිනි. අක්කර 54 ක භූමි භාගයක් හිමි මහනුවර මහා රෝහල වර්තමානයේදී භාවිත කරන්නේ අක්කර 28ක් පමණක් බවත්, අනවසර පදිංචිකරුවන් විසින් ඉතිරි අක්කර 26 භුක්ති විඳිනු ලබන බවත් මෙහිදී අනාවරණය විය. මේ තත්වය නිරවුල් කිරීම සඳහා ක්‍රමික වැඩපිළිවෙලක් දියත් කිරීමට කමිටුව තීරණය කෙරිණ. කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ද සහභාගී වූ මෙම කමිටු රැස්වීමට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. එසේම නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ගමනා ගමන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු ද පැමිණ සිටියහ. මෙහිදී දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධති වැඩි දියුණු කිරීම, අතරමඟ නැවතී ඇති සංවර්ධන කටයුතු අවසන් කිරීම, මහනුවර සංචාරක ආකර්ෂණය වෙනුවෙන් වූ විධිමත් යාන්ත්‍රණයක් සැකසීම, අවිධිමත් කසළ බැහැර කිරීම් නවතාලන ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, මහවැලි ගඟ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම වැනි කාරණා සාකච්ඡා කෙරිණ. එසේම විදුලිබල අවශ්‍යතා ඉටු කරලීම, පිඟා ඔයේ රොන් මඩ ඉවත් කිරීම සහ අනතුරුව ලබා ගන්නා වැලි අලෙවි කිරීම, ජල නල එලීමෙන් පසු මාර්ග යථා තත්ත්වයට පත් කිරීම, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපළ අවභාවිතය නවතා ලීම, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දෙන ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම, මහනුවර මහා රෝහලේ භික්ෂු වාට්ටුවේ සෝපානය පිළිසකර කිරීම, ‘අලුත් ගමක් අලුත් රටක්’ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් ප්‍රගතිය ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනින. තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව හා නිසි කළමනාකරණයකින් යුතුව උපයෝගී කර ගනිමින් මේ දුෂ්කර අවස්ථාවේදී මහජන අවශ්‍යතා ඉටු කරලීමට සියලු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බව යි කමිටු රැස්වීම අවසන සම සභාපතිවරු ප්‍රකාශ කළේ .

රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කෙරේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා පසුගිය (20) මහනුවර පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සුභ මොහොතින් වැඩ භාර ගනු ලැබීය. මාතලේ දිස්ත්‍රික්කයේ උපත ලද ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිලිබඳ විශේෂ උපාධිය හා පශ්චාත් උපාධිය ලබා ගනිමින් පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇත. සිය රාජකාරි කාලය තුළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස (යටවත්ත), සමෘද්ධි සහකාර කොමසාරිස් ලෙස(මාතලේ) මෙන්ම ප්‍රාදේශීය ලේකම් (යටවත්ත)ලෙසත් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙසත් මධ්‍යම පළාත් සභාවේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙසත් සුවිශාල සේවාවක් කල ඒ මහතා , සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ නව ලේකම් තනතුරට පත්වීමට ප්‍රථම මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස කටයුතු කරන ලදී. චීනය, ජපානය, තායිලන්තය, කොරියාව, සිංගප්පූරුව හා මැලේසියාව වැනි රටවල විශේෂ පුහුණු වීම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යනයන් සිදු කර ඇති ජගත් අධිකාරී මහතා පරිපාලන සේවයේ වසර 20 කට අධික කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිළධාරියෙකු වේ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook